ගෝනුස්සාගේ රාත්‍රිය
තාම මතකයි ඒ රාත්‍රිය
අම්මාව ගෝනුස්සෙක් හපා කෑවා
පැය දහයක මර වැස්ස
ඌව වී ගෝනියක් යටට කරලා තිබුණා
ගන අඳුරේ උගේ වලිගෙ විස පත්තු කරලා
ඌ වැස්සෙ ම යන්න ගිහින්
මැස්සන් ඇහිරෙනවා වගේ අහළ පහළ අය ඇවිදින්
ගෝනුස්සගේ විස නසන්ට
දෙයියන්ට කන්නලව්ව.
ඉටිපන්දම් පහන් වලින්
වරිච්චි බිත්තියට වැටෙන
ගෝනුසු රුව දිගේ
කොච්චර හෝදිසි කෙරුවත් ඌ හිටියේ නෑ පේන්ට.
හොයා ගන්න බැරි වුණ තැන “චඃ!” කියලා කියවුණා
ගෝනුස්සා ඇවිදින කොට
විස සිරුරේ ඔඩු දුවනවා,
කියලා කියනවා ඇහුණා.
අනේ ඌ ඇවිදින්න එපා,
උඹේ කරුම ඔක්කොම ටික
අදින් පස්සෙ ඉවර වේවා,
ඊළඟ ආත්මෙදී උඹට
මෙහෙව් දුකක් නොලැබේවා,
ලොවේ යහපතට එදිරිව
හරිහරියට නැගී සිටින
සෑම සියලු අයහපත ම
උඹේ වේදනා ස්වරයෙන් දුරින් ම දුරු වී යේවා!
මේ විසෙන් උඹේ ආසාව කියන මාංශය,
බලාපොරොත්තුව කියන ආත්මය සුද්ද වේවා,
මෙකී නොකී යාදිනි මැද
මගෙ සවන් සැරිසැරුවා.
අම්මව වටකරන් මැටි පොළොවේ වාඩි වෙලා.
වෙන්න යන්නේ මොකක් ද කියලා
හැම මූණෙ ම ඇඳිලා තිබුණා.
ඉටිපන්දම්, ලන්තෑරුම්, අසල්වැසියො, කුරුමිණියෝ,
නිමක් නැති වරුසාව, එන්න එන්න ම වැඩි වුණා.
පැදුරක් උඩ කෙඳිරි ගගා,
අම්මා වේදනා වින්දා.
දන්න කියන හැම මන්තරය ද,
බෙහෙත් කුඩ ද, චූර්ණය ද, කැඳ ජාති ද,
එදා අත්හදා බලාපු
කවදාවත් කිසිම දෙයක්
තර්කෙන් පිට පිළිනොගන්න මගේ තාත්තා,
හපා කාපු ඇඟිල්ල උඩ භූමිතෙල් බිංදුවක් දාලා
ගිනිකූරක් ළං කෙරුවා.
අම්මාගේ සරීරයේ ගිනිදැල් දුවනා දිහාව
මාත් ඔහේ බලං හිටියා.
පිටවෙන විස හීලෑ කරන සාමිගෙ යාදිනි දිහාව
ඇස් දල්වන් බලං හිටියා.
පැය විස්සක් පහු වෙනකොට
දස්ටනයක් පේන්න නැහැ.
අම්මා කිව්වේ එකම දෙයයි,
“හොඳ වෙලාවට ගෝනුස්සා ළමයින්ව හපන්නෙ නැතුව
මාව හැපුවෙ.”
Comments
Post a Comment