Skip to main content

Stench of Kerosene - Amrita Pritam

 


වෙළඹකගේ හේෂාරාවය පිටතින් ඇසුණි. ගුලේරි සිය නිවස ඉදිරිපිට සිට හඬ ගානා වෙළඹ හඳුනා ගත්තා ය. වෙළඹ පැමිණ සිටියේ ඇගේ මාපියන්ගේ ගමේ සිට යි. වෙළඹ වෙත දිව ගිය ඈ උගේ ගෙලෙන් එපිටට හිස යොමු කළේ ඒ වෙළඹ සිය පියාණන්ගේ නිවසට යාම පිණිස ඇයට දොරටු විවර කළ කලෙක පරිද්දෙනි.

 

ගුලේරිගේ දෙමව්පියන් වාසය කළේ චම්බා නම් ගම්මානයේ ය. කඳුකර භූමියක පිහිටි ඇගේ සැමියාගේ නිවසේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු නගරය කරා යන මාවත වක ගැසි ගැසී පහළ දළ බෑවුම වෙත විහිදෙයි. මේ මංසන්ධියට පැමිණෙන අයෙකුට සිය දෙපතුළට පහළින් ඉතා ගැඹුරු ආගාධයක වැතිරී සිටින චම්බාව දැක ගත හැකි ය. සිය නිවස මතක් වී සාංකාවක් ඇති වෙන ඕනෑ ම මොහොතක ඇය සිය සැමියා වූ මනක් සමඟ මෙම ස්ථානයට පැමිණෙයි. හිරු රශ්මියෙන් දිදුලන චම්බාවේ නිවාස පේළි දකිනා ඇය ආපසු පැමිණෙන්නේ ආඩම්බරයෙන් දිදුලන හදකින් යුතු ව යි.

 

වසරකට වතාවක් එළඹෙන අස්වනු නෙළනා සමයේ දී සිය දෙමාපියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට ගුලේරිට අවසර ලැබෙයි. ඔවුහු ඈ චම්බා වෙත කැඳවා ගෙන ඒම සඳහා ලකර්මණ්ඩි වෙත සේවකයෙකු එවති. විවාහයෙන් පසු චම්බාවෙන් දුර බැහැර පදිංචියට ගොස් සිටින ඇගේ මිතුරියන් දෙදෙනෙක් ද මෙසමයේ දී මාපිය නිවෙස් වෙත පැමිණෙති. සිය අත්දැකීම්, චිත්ත ප්‍රීතින් හා දුක්ඛ දෝමනස්සයන් පිළිබඳ අතොරක් නැති ව කතා බහ කිරීමට ඉඩ හසර ලැබෙන මේ වාර්ෂික උත්සවය එළඹෙන තුරු මේ තරුණියෝ ඇඟිලි ගනිමින් බලා සිටිති. ඔවුහු එක් ව මංමාවත් දිගේ ඇවිද යති. අස්වනු නෙළීමේ මංගල්‍යය උදා වූ කල මේ තරුණියෝ අලුත් ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙති. ඔවුහු සිය සළුවල සායම් ගල්වා කැඳ යොදා ඒවා දිස්නය වැටීම සඳහා මිනිරන් කුඩු ඉසිති. වෙළඳපොළෙන් වීදුරු වළලු හා රිදී තෝඩු මිල දී ගනිති.

 

අස්වනු නෙළන දිනය එළඹෙන තුරු ගුලේරි සිටියේ ඇඟිලි ගනිමිනි. මෝසම් වලාකුළු අහසින් අතු ගා දමමින් සරත් සුළඟ හමන්නට පටන් ගන්නා වි‌ට ඇගේ සිතැඟි චම්බාවේ සිය මහ ගෙදර වෙත ඇදී යයි. වසු පැටවුන් සඳහා තණකොළ කැපීම, සිය සැමියාගේ දෙමාපියන්‌ට අහර පිස දීම වැනි දෛනික රාජකාරි නිමා කළ පසු ඇය නිරන්තරයෙන් පසු වන්නේ මාපියන්ගේ නිවසේ සිට කිසිවෙකු පැමිණීමට තව කොතරම් කලක් ඇත් දැ යි යන්න පිළිබඳ ව සිතමිනි. ඉතින් දැන්, නැවත වරක් ඇගේ වාර්ෂික මාපිය බැහැදැකීමට අවස්ථාව එළඹී තිබේ. හිත මිතුරු වෙළඹ සුරතල් කළ ඇය සිය පියාණන්ගේ සේවකයා වූ නාටුට ආචාර කොට පසු දා ගමනට අවශ්‍ය කළමනා සූදානම් කරන්න‌ට වූවා ය.

 

ගුලේරි පසු වූයේ වදනින් කිව නො හැකි තරම් සතුටකිනි. ඒ බව ඇගේ මුහුණ පුරා ඇඳී තිබුණි. ඇගේ සැමියා වූ මනක් සිය ගඩුගුඩාවෙන් දුම් උගුරක් ඇද දෙනෙත් පියා ගත්තේ ය. ඔහු කෙරෙන් පිළිඹිබු වූයේ ඉතා අකැමැත්තෙන් දුම් පානය කරන සැටියෙකි. නො එසේ නම්, සිය බිරිඳට මුහුණ දීමට දැඩි අපහසුවෙන් පසු වන සෙයකි.

 

“ ඔයා සල්පිල දවසට චම්බා එනවා නේද?”

 

“එදාට විතරක් හරි එන්න ඕනි හොඳ ද,” ඇය ඔහුගෙන් ඉල්ලා සිටියා ය.

 

දුම් බටය පසෙකට කළ නමුදු ඔහු කිසිවක් නො කීවේ ය.

 

“මොකෝ කට පියන් ඉන්නෙ?” ගුලේරි ඇසුවේ මදක් කෝපයෙනි. “මන් ඔයාට දෙයක් කියන්න ද?”

 

“මං දන්නව මොකක්ද කියන්න හදන්නෙ කියල: ‘මම අම්මලව බලන්න යන්නෙ අවුරුද්දකට සැරයයි කියලනෙ!’ මීට කලින් මං කවදාවත් ඔයාව නවත්තගෙන නෑ.”

 

“ඉතින් මොකෝ මේ පාර?” ඇය පෙරළා විමසුවා ය.

 

“මේ සැරේ විතරක් ඉන්න” මනක් බැගෑපත් වූවේ ය.

 

“අම්මවත් මොකුත් කිව්වෙ නෑ. එහෙම එකේ ඇයි ඔයා මට යන්න දෙන්නෙ නැත්තෙ?” ගුලේරි මුරණ්ඩු වූයේ ළදැරියක මෙනි.

 

“අම්මා...” මනක් කියන්නට ගිය දේ ගිල ගත්තේ ය.

 

දිගු කලකට පසු උදා වූ ඒ උද්යෝගිමත් උදෑසන ගුලේරි සිය ගමනට සූදානම් වූයේ හිරුටත් පෙරාතු ව ය. බලා කියා ගන්නට දරුවෙකු ගුලේරිට නොමැති වූ හෙයින් නැදි මයිලන් සමීපයේ දරුවන් දමා යාමට සිදු වීම හෝ ඔවුන් ද කැටුව යාමට සිදු වීම වැනි ගැටලු ඇයට නොවී ය. ඇය මනක්ගේ දෙමාපියන්ට වැඳ අවසර ලබා ගන්නා අතරවාරයේ දී නාටු වෙළඹගේ සෑදලය සැකසුවේ ය. නැන්දණිය හා මාමණ්ඩිය සිය ලේලියගේ හිස අත ගා ඇය‌ට ආශිර්වාද කළෝ ය.

 

“මාත් එන්නම් ටික දුරක්,” මනක් පැවසුවේ ය.

 

පෙර දින වූ සිත් තැවුල දුරු ව තිබූ වගක් පෙනෙන්නට වූ හෙයින් ගුලේරිට ප්‍රීතියක් දැනුණි. මනක්ගේ බටනළාව ඇය සිය සළුව යට සඟවා ගත්තා ය.

 

ඛජාර් ග්‍රාමය පසු වනවාත් සමඟ ම මාර්ගය ප්‍රපාතය ඔස්සේ චම්බා වෙත විහිදෙයි. බෑවුම ආරම්භ වන තැන දී සිය සළුව යට වූ බටනළාව ඉවතට ගත් ගුලේරි එය මනක් වෙත පෑවා ය. මනක්ගේ අත අල්වා ගත් ඇය “එන්න, බටනළාව පිඹින්න” යි කීවා ය. එහෙත්, සිතුවිලි දාමයක අතරමං වී සිටි මනක් ඇගේ ඉල්ලීම ගණන් නො ගත්තේ ය. “ඇයි අනේ බටනළාව ගහන්නෙ නැත්තෙ?” ගුලේරි ඇසුවේ ආයාචනාත්මක ව ය. ඈ දෙස ශෝකාකූල බැල්මක් හෙලූ මනක් බටනළාව සිය දෙතොලතර රඳවා ගෙන ඔවුන් දෙපළට ආගන්තුක වූ වේදනාත්මක විලාපයක ස්වර රටාවක් වාදනය කළේ ය.

 

“යන්න එපා ගුලේරි” ඔහු ඇය ඉදිරියේ බැගෑපත් වූවේ ය. “මං වැඳල කියන්නම්, මේ සැරේ ගෙදර නවතින්න”. තවදුරටත් වාදනය කිරීමට රුචියක් නො දැක්වූ ඔහු බටනළාව නැවතත් ඈ අත රැඳවූවේ ය.

 

“ඇයි....?” ඇය විමසුවා ය. “ඔයා සල්පිල දවසට ආවම මං ඔයත් එක්ක ම ආපහු ගෙදර එන්නම්. ඔන්න මං ඔයාට පොරොන්දු වෙනවා. මේ පාර සල්පිලෙන් පස්සෙ මං දිගට ම අපේ ගෙදර නවතින්නෙ නෑ. එදා ම ඔයා එක්ක ආපහු එනවා.”

 

මනක් නැවතත් ඇයට බැගෑපත් වීමට ගියේ නැත.

 

ඔවුහු පාරේ පසෙකින් නතර වූහ. තරුණ යුවළට තනි වෙන්නට ඉඩ සලසමින් නාටු වෙළඹ ද රැගෙන පියවර කිහිපයක් ඉදිරියට ගියේ ය. ඉවතට ඇදී යන වෙළඹ සමඟ ම මනක්ගේ සිත ඇදී ගියේ වසර හතකට පෙර මේ සමයේ දී තමන් සිය මිතුරු කැළ සමඟ මේ මාවත ඔස්සේ ම චම්බාවේ සල්පිල වෙත පියමං කළ මතකය වෙත යි. ගුලේරිව පළමු වරට සිය නෙත ගැටුණේ ද ඔවුන් සිය හදවත් එකිනෙකාට පුද දුන්නේ ඒ සල්පිලේ දී ය. පසු කලෙක ඇය සමඟ තනි වූ මොහොතක ඇගේ අත ගෙන “ඔයා හරිය‌ට නාඹර කිරි ඉරිඟු කරලක් වගේ” යි පැවසූ අයුරු මනක්ට සිහි විය.

 

“ගොන් වස්සො තමයි නාඹර කරල් කන්නෙ” යි පිළිවදන් දුන් ගුලේරි ඔහුගේ අත ගසා දැමුවා ය. “මිනිස්සු නම් කැමති පුච්චපු ඉරිඟු කන්න. ඔයාට මාව ඕනි නම් ගිහින් තාත්තගෙන් අහල මාව කසාද බඳින්න.”

 

මනක්ගේ කුලයේ මිනිසුන් අතර විවාහ මංගල්‍යයට පෙර මනාලයා විසින් මනාලියගේ පාර්ශ්වයට දායාද මුදලක් ගෙවීමේ චාරිත්‍රයක් විය. ගුලේරිගේ පියා ඇය වෙනුවෙන් කෙතරම් මුදලක් ඉල්ලා සිටීවි දැ යි සිතා ගත නො හැකි ව මනක් ඉමහත් චංචලභාවයට පත් ව සිටියේ ය. එහෙත් ගුලේරිගේ පියා නගරයේ ජීවත් වූ ඉසුරුමත් පුද්ගලයෙක් වූවේ ය. සිය දියණිය මිල නො කරන බවටත් එහෙත් ඇය ව යහපත් පවුලක වැදගත් තරුණයෙකුට සරණපාවා දෙන බවටත් ඔහු තමාට ම පොරොන්දු වී සිටියේ ය. මනක් මේ සියලු ගුණාංගවලින් හෙබි තරුණයෙකැ’යි තීරණය කළ ඔහු නොබෝ කලකින් ගුලේරිව මනක්ට විවාහ කර දුන්නේ ය. මතක ගංගාවේ පත්ලට ම කිමිදී හුන් මනක් ගුලේරිගේ අත සිය උරහිස මත රැඳෙනු දැනී පියවි ලොවට පිවිසුණේ ය.

 

“මොනව ගැන ද හීන බලන්නෙ?” ඇය ඔහුට සරදම් කරන්නට වූවා ය.

 

මනක් පිළිතුරු දුන්නේ නැත. වෙළඹගේ නොඉවසිලිමත් හේෂාරාවය ඇසුණු ගුලේරි තව හෝරා කිහිපයකින් සිය දෙමාපියන්ගේ සෙවණට යාමට හැකි වීම පිළිබඳ ප්‍රීතියෙන් සිත පුරවා ගෙන පිටත් වීමට නැගී සිටියා ය. “මෙතන ඉඳන් හැතැප්ම දෙකක් විතර ගියා ම තියෙනවා ඝණ්ටාර ලන්ද කියල කැලයක්. අහල තියෙනවද?” ඇය විමසුවා ය. “කවුරුහරි ඒ කැලේ මැද්දෙන් ගියොත් එයාගේ කන බීරි වෙනවලු”.

 

“හ්ම්”

 

“මට පේන්නෙ ඔයත් ඝණ්ටාර ලන්ද පැත්තෙ ගිහින් ඇවිත් වගේ; ඇයි ඉතින් මං කියන කිසි දෙයක් ඇහෙන්නෙ නෑනෙ”.

 

“ඇත්ත ගුලේරි. ඔයා කියන කිසි දෙයක් මට ඇහෙන්නෙ නෑ” දිගු සුසුමක් හෙලමින් මනක් පිළිතුරු දුන්නේ ය.

 

දෙදෙනා ම එකිනෙකාගේ දෑස් දෙස බලා ගත් වන ම පසු වූහ. එහෙත් එකිනෙකාගේ සිතුවිලි වටහා ගැනීමට සමත් නො වූහ.

 

“මං යන්නම්. ඔයා දැන් ආපහු ගෙදර ගියොත් හොඳයි. ගොඩක් දුර ආවනෙ”, ගුලේරි මෘදු ව පැවසුවා ය.

 

“ඔයා දිගටම පයින් ආවේ. මෙතන ඉඳන් වෙළඹ පිටේ යන්න”, මනක් ප්‍රතිචාර දැක්වූවේ ය.

 

“ආ, මෙන්න ඔයාගෙ බටනළාව”

 

“ඒකත් අරන් යන්න”.

 

“සල්පිල දවසට ආවම බටනළාව පිඹිනවද?” සිනහවකින් මුව සරසා ගත් ගුලේරි විමසුවා ය. ඇගේ දෑස තුළින් දිදුලන හිරුගේ ප්‍රතිබිම්බය දුටු මනක් ඉවත බලා ගත්තේ ය. අවුල් සහගත සිතින් සිය දෙඋර හැකිලූ ගුලේරි චම්බාව කරා යාමට පිටත් වූවා ය. මනක් ද සිය නිවස බලා ආපසු පැමිණියේ ය.

 

නිවසට ඇතුලු වූ මනක් උදාසීන හැඟීමකින් යුතු ව සිය වැල් ඇඳ මත වැතිරුණේ ය.

 

“මෙච්චර වෙලා මොනව කළා ද?”, ඔහුගේ මව ඔහු වෙත කඩා පැන්නා ය. “චම්බවලටම ගියා ද?”

 

“නෑ, දිගට ම ගියෙ නෑ; කන්ද උඩට වෙනකම් විතරයි”. මනක්ගේ කටහඬ බර වී තිබුණි.

 

“මොකද බං නාකි ගෑනියෙක් වගේ ගොරොද්දෙ අදින්නෙ,” මවගේ ස්වරය ඉතා දැඩි ය. “පිරිමියෙක් වගේ ඉඳපන්”.

 

“හරි දැන් අම්ම ගෑනියෙක් වුණා කියල අඬ අඬා ඉන්නෙ නෑනෙ!” එකට එක කීමට මනක්ට අවැසි වුවත් ඔහු ඒ වදන් මුවින් පිට කළේ නැත.

 

මනක් හා ගුලේරි විවාහ වී සත් වසක් ගත වී තිබුණ ද ගුලේරිට දරු සම්පතක් හිමි නො වූ හෙයින් මනක්ගේ මව ඒ සඳහා රහසිගත සැලැස්මක් සූදානම් කර තිබුණි: “හත් අවුරුද්දක් බලා හිටිය මදැයි”.

 

මේ වසරේ දී, සිය තීරණය ක්‍රියාවට නංවමින් ඇය රුපියල් 500ක දායාද මුදලක් ගෙවා මනක් වෙනුවෙන් දෙවන බිරිඳක් තෝරා ගෙන තිබුණි. දැන් ඇය බලා සිටින්නේ ගුලේරි සිය මාපියන් වෙත ගිය පසු අලුත් මනාලිය නිවසට කැන්දා ගෙන ඒමට අවස්ථාව උදා වන තුරු බව මනක් දැන සිටියේ ය.

 

සිය මෑණියන්ට හා චාරිත්‍ර විධිවලට අවනත වූ ඔහුගේ සිරුර අලුත් ගැහැනියට ප්‍රතිචාර දැක්වූවේ ය. එහෙත්, ඔහුගේ හදවත ඔහු තුළ ම මිය ගොස් තිබුණි.

 

දිනක් හිමිදිරි උදෑසන ඔහු සිය දුම් පයිප්පය උරමින් සිටිය දී පැරණි මිතුරෙක් නිවස පසු කර යනු ඔහුට පෙනුණි. “හෝ... භවානි, කොහෙද මේ උදේ පාන්දර යන්නෙ?”

 

භවානි නැවතුණේ ය. ඔහුගේ උර මත කුඩා ගමන් මල්ලක් තිබුණි. “කොහෙවත් නෑ”, ඔහු පිළිතුරු දුන්නේ මනක් මග හරින අටියෙනි.

 

“අනිවාරෙන් ම උඹ කොහේ හරි රස්තියාදුවක යනව ඇති”, මනක් හඬ ගෑවේ ය. “දුමක් අදිනවද?” බිම ඇණ තියා ගත් භවානි මනක්ගේ අතේ වූ දුම් බටය අතට ගත්තේ ය. “මම චම්බා යන ගමන්, සල්පිලට”, අවසානයේ දී ඔහු කියා සිටියේ ය.

 

“භවානිගේ වදන් ඉඳිකටු තුඩක් මෙන් මනක්ගේ හදවත පසාරු කළේ ය.

 

“අද සල්පිල ද?”

 

“හැම අවුරුද්දක ම සල්පිල තියෙන්නෙ එකම දවසක තමයි”, භවානි පිළිතුරු දුන්නේ වියළි ස්වරයෙනි. “උඹට අමතක ද, අවුරුදු හතකට කලිනුත් අපි උඹල ඔය සල්පිලටම ගිය හැටි?” භවානි තවදුරටත් කිසිවක් නො කී නමුදු ඔහුගේ ඇනුම් පදය වටහා ගත් මනක්ගේ සිත සසල විය. දුම් බටය පසෙකින් තැබූ භවානි සිය ගමන් මල්ල ඔසවා ගත්තේ ය. ඔහුගේ බටනළාවේ කොණක් ගමන් මල්ලෙන් ඉවත‌ට පැමිණ තිබුණි. මනක්ගෙන් සමු ගත් ඔහු පිටත් ව ගියේ ය. භවානි සිය දර්ශන පථයෙන් ඉවතට ඇදී යන තුරු ම මනක්ගේ දෑස රැඳී තිබුණේ බටනළාව වෙත යි.

 

පසු දා දහවල සිය කුඹුරේ වැඩ කරමින් සිටි මනක්ට ආපසු පැමිණෙන භවානි නෙත ගැටුණු නමුත් ඔහු සිතා මතා ම ඉවත බලා ගත්තේ ය. ඔහුට භවානි සමඟ කතා කිරීමට හෝ සල්පිල පිළිබඳ කිසිදු තොරතුරක් දැන ගැනීමට අවැසි නොවුණි. එහෙත් කුඹුරේ අනෙක් පසින් මනක් සමීපයට පැමිණි භවානි ඔහු ඉදිරියේ වාඩි වූවේ ය. දැඩි දුක්බර බවක් ඉසිලූ ඔහුගේ මුහුණ අඟුරු මෙන් කළු පැහැ වී තිබුණි.

 

“ගුලේරි මැරිල”, භවානි ඉතා අපහසුවෙන් වචන ගැට ගැසුවේ ය.

 

“මොකක්?”

 

“උඹ දෙවැනි කසාදයක් කරගත්ත කියල දැනගත්තම එයා භූමිතෙල් වක්කරන් ගිනි තියාගෙන”.

 

වේදනාවෙන් ගොළු වූ මනක්ට කළ හැකි වූයේ භවානි දෙස බලා සිටීම පමණක් වූ අතර සිය ජීවිතය දැවී යන සෙයක් ඔහුට දැනෙන්නට විය.

 

දින සති ගෙවී ගියේ ය. මනක් සිය කුඹුරු වැඩවලට නැවත අවතීර්ණ වූ අතර ඔහුට කිසිවෙකු විසින් ආහාර දුන් විට අනුභව කළේ ය. එහෙත්, හිස් බැල්මෙනුත්, හැඟීම් විරහිත දෙනෙතිනුත් යුතු වූ ඔහු පසු වූයේ මළ මිනියක් පරිද්දෙනි.

 

“මම එයාගෙ අඹුව නෙමෙයි”, ඔහුගේ දෙවන බිරිය මැසිවිලි නගන්නට වූවා ය. “මම එයාට බලහත්කාරෙන් කර ගහගන්න වෙච්ච නිකම්ම නිකං ගෑනියෙක් විතරයි”.

 

එහෙත් වැඩි කල් යන්නට මත්තෙන් ඇය ගැබ් ගත් හෙයින් මනක්ගේ මව සිය නව ලේලිය වෙත ඉමහත් කරුණාව පෑවා ය. ඇය මනක්ට ඔහුගේ බිරිඳගේ තත්වය සැල කළ නමුත් ඔහුට ඒ කිසිවක් වැටහුණු බවක් පෙනෙන්නට නොවූ අතර ඔහුගේ දෑස තවදුරටත් හැඟීම් විරහිත ව ම පසු වුණි.

 

දින කිහිපයක් සිය සැමියාගේ මනෝගති ඉවසා සිටීමට මනක්ගේ මව ඇගේ ලේලිය දිරිමත් කළා ය. ඇය පැවසූවේ, දරුවා මෙලොව එළිය දුටු පසු මනක්ගේ ගති පැවතුම් වෙනස් වනු ඇති බව යි.

 

මනක්ගේ බිරිඳට නිරෝගී පුතණු කෙනෙක් උපන්නේ ය; ඉමහත් ප්‍රීතියට පත් ඔහුගේ මව දරුවා නහවා සිනිඳු ඇඳුමක් අන්දවා මනක්ගේ උකුලෙන් තැබුවා ය. සිය උකුලේ සිටින අලුත උපන් බිළිඳා දෙස මනක් දෑස් දල්වා බලා සිටියේ ය. කිසිවක් වටහා ගත නොහැකි ව බොහෝ වේලාවක් එසේ බලා උන් ඔහුගේ මුහුණ සුපුරුදු හැඟීම් විරහිතභාවය ම ඉසිලුවේ ය. ඉන්පසු එක්වරම හිස් දෙනෙත ඉමහත් භීතියකින් පිරී ගිය අතර මනක් මහ හඬින් මොර දෙන්න‌ට වූවේ ය. “මූව අරන් පලයල්ලා!” ඔහු උමතුවෙන් කෑ ගැසුවේ ය. “මූව අරන් පලයල්ලා! මූ ළඟ භූමිතෙල් ගඳයි!!!”

 

 

 

 

 


Comments

Post a Comment

Popular posts from this blog

සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - රුවන් බන්දුජීව

 

The Night of The Scorpian - Nissim Ezkiel -

  ගෝනුස්සාගේ රාත්‍රිය   තාම මතකයි ඒ රාත්‍රිය අම්මාව ගෝනුස්සෙක් හපා කෑවා පැය දහයක මර වැස්ස ඌව වී ගෝනියක් යටට කරලා තිබුණා   ගන අඳුරේ උගේ වලිගෙ විස පත්තු කරලා ඌ වැස්සෙ ම යන්න ගිහින්   මැස්සන් ඇහිරෙනවා වගේ අහළ පහළ අය ඇවිදින් ගෝනුස්සගේ විස නසන්ට දෙයියන්ට කන්නලව්ව.   ඉටිපන්දම් පහන් වලින් වරිච්චි බිත්තියට වැටෙන ගෝනුසු රුව දිගේ කොච්චර හෝදිසි කෙරුවත් ඌ හිටියේ නෑ පේන්ට. හොයා ගන්න බැරි වුණ තැන “චඃ!” කියලා කියවුණා ගෝනුස්සා ඇවිදින කොට විස සිරුරේ ඔඩු දුවනවා, කියලා කියනවා ඇහුණා.   අනේ ඌ ඇවිදින්න එපා, උඹේ කරුම ඔක්කොම ටික අදින් පස්සෙ ඉවර වේවා, ඊළඟ ආත්මෙදී උඹට මෙහෙව් දුකක් නොලැබේවා, ලොවේ යහපතට එදිරිව හරිහරියට නැගී සිටින සෑම සියලු අයහපත ම උඹේ වේදනා ස්වරයෙන් දුරින් ම දුරු වී යේවා! මේ විසෙන් උඹේ ආසාව කියන මාංශය, බලාපොරොත්තුව කියන ආත්මය සුද්ද වේවා, මෙකී නොකී යාදිනි මැද මගෙ සවන් සැරිසැරුවා.   අම්මව වටකරන් මැටි පො‌ළොවේ වාඩි වෙලා. වෙන්න යන්නේ මොකක් ද කියලා හැම මූණෙ ම ඇඳිලා තිබුණා. ඉටිපන්දම්, ලන්තෑරුම්, අසල්වැසියො, කුරුමිණියෝ, ‍

සීගිරි ළඳකගේ අම්මෙක් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල