උත්තමයෙකුගේ නිවහන මම නැවතුණෙමි . මගේ හාම්පුතු වැනි උතුම් මිනිසෙකු හැර දමා යාම පිළිබඳ ව සිතන්නටවත් නො හැකි වූ හෙයින් මම නැවතුණෙමි. පෙර දා රාත්‍රියේ ඇය මට “නාකි අවලමා” යි පැවසූ පසු මා සිතා සිටියේ මා සතු ව තිබූ සොච්චමත් රැගෙන කෝකියෙකු ලෙස සේවය කළ හැකි වෙනත් නිවහනක් සොයා යෑමට යි. මා හට එසේ සේවය කළ හැකි තැනක් වෙත්දැ’යි කල්පනා කරන විට මගේ හාම්පුතුගේ මිතුරන්ව ද සිහි වුණි. හැට වන වියට ආසන්න ව සිටි මාගේ වියපත් බව පිළිබඳ ව සලකා බලද්දී බොහෝ දෙනෙකු මා සේවයට බඳවා ගැනීමෙන් වැළකී සිටිනු ඇති බව වැටහුණු හෙයින් ධරන් නගරය ආසන්නයේ පිහිටි මගේ ගමට ගොස් තේ කඩයක් ආරම්භ කිරීම පිළිබඳ ව ද සිතා බැලුවෙමි. මේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කළ වසර අට පුරාවට මා ඉතුරු කරගත් රුපියල් පාළොස්දාහක් මගේ කාමරයේ ඇති අගුලු දැමූ ට්‍රන්ක පෙට්ටිය තුළ සුරැකි ව තැන්පත් ව ඇත. මේ එකිනෙක දෑ පිළිබඳ ව කල්පනා කළ මා හට අවසානයේ දී මගේ හාම්පුතුගේ තරුණ බිරිය වන නානි මෙම්සහිබ්ගේ දයාබර බව සමඟ ඔහුව තනි කළ නො හැකි බව වැටහුණි. මගේ හාම්පුතු හෘද රෝගවලින් ද, කොඳු ඇට පෙළෙහි ඇති වන දරුණු වේදනාවකින් ද, ඔහුව ඇඳට ම සීමා කර තැබීමට සමත් වූ තවත් බොහෝ රෝග