Skip to main content

The Solitary Reaper - William Wordsworth


තනි ව නෙළන්නිය

 

බලන්න ඇය, කෙතේ තනි ව ම                                       

ඇය යි කඳුකර තනි මාණවිය!

නෙළයි ගයමින් හුදකලා ව ම;

මෙහි රැඳෙනු, නැතිනම් මෘදු ව පිය තබනු!

තනි ව ඇය රන් කරල් මිටි මැද,

ගයයි ගීයක් සෝක ස්වරයෙන;

සවන් දෙනු! ගැඹුරු මිටියාවත

ඇගේ ස්වරයෙන් පිටාරේ යයි.

 

පංචසිඛගේ මුවින් නො ගැයුණි                                                    

පිළිගැනීමේ ගීතිකාවක්

විඩාපත් වාදක මඩුල්ලට

වැලි කතරේ සෙවණැලි අහඹුවක

විඩා හරිනා සරන්නන් යුත්:

කිසිදු දිනයක සවන් නො ගැටුණි

එබඳු කන්කලු මිහිරි ස්වරයක්

          වසත් කල කෝකිල කුමරුගෙන්;

          සසලවයි නිසසල සයුරු තෙම

ඈත දූපත් වළල්ලෙන් යුත්.

  

ඇගේ ගීයේ අරුත් කිම වෙද

කිසිවෙකුත් මට නො පවසාවි ද?—

ඇතැම්විට ඇය ගයනවා ඇත

දිවි ගඟේ පහළට ගලා ගිය

කම්කටොළු බළ ඇණි ඉකුත් දින:

නොමැතිනම් ඒ ගීය මුහු වෙද

අද දිනත් සුපුරුදු ගැහැට මැද

වින්ද විඳවනු ඇති තැවුල් කැන්

විප්පයෝගී රිදුම් සමඟින?

 

කවර අරුතක් එ ලඳ ගැයුව ද

අනන්ත යි එහි ගෙතෙන පද වැල;

නෙත ගැටුණි අස්වනු නෙළන ඇය,

කැති තලෙන් ඔප වැටුණු වුවනත;--

රසවතෙකි මම නිහඬ නිසසල;

පිය නගින්නෙමි කන්ද මුදුනට,

හදේ වැයෙනා තනුව සඟවන්;

කාලයේ වැලි තලා අතරින්

යළිඳු නෑසුණි ඒ ගීත නද

 

                                    

Comments

Post a Comment

Popular posts from this blog

සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - රුවන් බන්දුජීව

 

Love in Translation - Madeline Kheilminister

 ප්‍රේමය දිව නුහුරු බසින්  විදේශිකයෙකුට පෙම් බැඳීම අතිශය සුන්දර අත්දැකීමකි. ඔවුනගේ සිතැඟි වටහාගැනීමත් ඔවුන් අයත්වන සංස්කෘතිය හඳුනාගැනීමත් එක හා සමාන ව සිත් ඇදගන්නා ක්‍රියාවන් වේ. අපට නුහුරු ඔවුනගේ වාග් සම්ප්‍රදායන්, අපූරු සිරිත් විරිත් සහ සිත් පුබුදු කරවාලන අදහස් උදහස් ඉතා ආකර්ෂණීය වේ. හදවතට වඩ වඩාත් සමීප වීමේත්, සිතැඟි වටහා ගැනීමේත් පරමාර්ථයෙන් ඔවුනගේ භාෂාව උගෙනීමේ නො තිත් ආශාවකින් ඔබ පෙළෙනු නො අනුමාන ය. පෙම් සුව විඳිද්දී සිය ආදරණීයයාගේ මුවින් ගිලිහී ඔබේ සිත තුළට කා වැදුණු, එහෙත් අරුත් වටහා ගත නොහැකි ඇතැම් වදන් නිරතුරුව මුමුණනන්ට ඔබ පෙළඹෙන්නේ නිරායාසයෙනි. මන්ද, එවදන් ඔබේ සවනත වැකුණු විට හද තුළ ඉපිලුණු උද්වේගකර හැඟීම් ඒවා තුළ නිදන් ව ඇති හෙයිනි. ඔවුනට ඔබේ  ස්වරණය ආදරණීය ය. ඔබට ද, ඔබේ මවුබසින් සිය ආදරණීයයාගේ හඬ ඇසෙන විට එය අතිශයින් මධුර මනෝහර වේ.  ප්‍රේමය විදෙස් බසකින් මා සොයා පැමිණියේ යමෙක් සිය ආත්ම-ගවේෂණය සහ ආත්ම-සංවර්ධනය කෙරහි සිය සිත අතිශයින් ම ඒකාග්‍ර කරනා අවධියක යි. ඒ මා උපාධි අපේක්ෂිකාවක ලෙස විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි වසර යි. ඉංග්‍රීසි භාෂා සහායකවරියක ලෙස මා ...

A Great Man's House - Samrat Upadhyay

  උත්තමයෙකුගේ නිවහන   මම නැවතුණෙමි . මගේ හාම්පුතු වැනි උතුම් මිනිසෙකු හැර දමා යාම පිළිබඳ ව සිතන්නටවත් නො හැකි වූ හෙයින් මම නැවතුණෙමි. පෙර දා රාත්‍රියේ ඇය මට “නාකි අවලමා” යි පැවසූ පසු මා සිතා සිටියේ මා සතු ව තිබූ සොච්චමත් රැගෙන කෝකියෙකු ලෙස සේවය කළ හැකි වෙනත් නිවහනක් සොයා යෑමට යි. මා හට එසේ සේවය කළ හැකි තැනක් වෙත්දැ’යි කල්පනා කරන විට මගේ හාම්පුතුගේ මිතුරන්ව ද සිහි වුණි. හැට වන වියට ආසන්න ව සිටි මාගේ වියපත්   බව පිළිබඳ ව සලකා බලද්දී බොහෝ දෙනෙකු මා සේවයට බඳවා ගැනීමෙන් වැළකී සිටිනු ඇති බව වැටහුණු හෙයින් ධරන් නගරය ආසන්නයේ පිහිටි මගේ ගමට ගොස් තේ කඩයක් ආරම්භ කිරීම පිළිබඳ ව ද සිතා බැලුවෙමි. මේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කළ වසර අට පුරාවට මා ඉතුරු කරගත් රුපියල් පාළොස්දාහක් මගේ කාමරයේ ඇති අගුලු දැමූ ට්‍රන්ක පෙට්ටිය තුළ සුරැකි ව තැන්පත් ව ඇත. මේ එකිනෙක දෑ පිළිබඳ ව කල්පනා කළ මා හට අවසානයේ දී මගේ හාම්පුතුගේ තරුණ බිරිය වන නානි මෙම්සහිබ්ගේ දයාබර බව සමඟ ඔහුව තනි කළ නො හැකි බව වැටහුණි. මගේ හාම්පුතු හෘද රෝගවලින් ද, කොඳු ඇට පෙළෙහි ඇති වන දරුණු වේදනාවකින් ද, ඔහුව ඇඳට ම සීමා කර තැබීමට සමත් වූ...