උත්තමයෙකුගේ නිවහන
මම නැවතුණෙමි. මගේ හාම්පුතු
වැනි උතුම් මිනිසෙකු හැර දමා යාම පිළිබඳ ව සිතන්නටවත් නො හැකි වූ හෙයින් මම
නැවතුණෙමි. පෙර දා රාත්‍රියේ ඇය මට “නාකි අවලමා” යි පැවසූ පසු මා සිතා සිටියේ මා
සතු ව තිබූ සොච්චමත් රැගෙන කෝකියෙකු ලෙස සේවය කළ හැකි වෙනත් නිවහනක් සොයා යෑමට යි.
මා හට එසේ සේවය කළ හැකි තැනක් වෙත්දැ’යි කල්පනා කරන විට මගේ හාම්පුතුගේ මිතුරන්ව ද
සිහි වුණි. හැට වන වියට ආසන්න ව සිටි මාගේ වියපත්
බව පිළිබඳ ව සලකා බලද්දී බොහෝ දෙනෙකු මා සේවයට බඳවා ගැනීමෙන් වැළකී සිටිනු
ඇති බව වැටහුණු හෙයින් ධරන් නගරය ආසන්නයේ පිහිටි මගේ ගමට ගොස් තේ කඩයක් ආරම්භ කිරීම
පිළිබඳ ව ද සිතා බැලුවෙමි. මේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කළ වසර අට පුරාවට මා ඉතුරු
කරගත් රුපියල් පාළොස්දාහක් මගේ කාමරයේ ඇති අගුලු දැමූ ට්‍රන්ක පෙට්ටිය තුළ සුරැකි
ව තැන්පත් ව ඇත. මේ එකිනෙක දෑ පිළිබඳ ව කල්පනා කළ මා හට අවසානයේ දී මගේ හාම්පුතුගේ
තරුණ බිරිය වන නානි මෙම්සහිබ්ගේ දයාබර බව සමඟ ඔහුව තනි කළ නො හැකි බව වැටහුණි. මගේ
හාම්පුතු හෘද රෝගවලින් ද, කොඳු ඇට පෙළෙහි ඇති වන දරුණු වේදනාවකින් ද, ඔහුව ඇඳට ම
සීමා කර තැබීමට සමත් වූ තවත් බොහෝ රෝගාබාධවලින් ද පීඩා විඳින්නෙකි. මා මින් පිට ව
ගියහොත්, මගේ හාම්පුතුව දිනපතා නෑවීමටත්, ඔහු වෙනුවෙන් නිර්මාංශ ආහාර පිළියෙල
කිරීමටත්, ඔහුගේ ඇඳුම් සෝදා දීමටත්, රාත්‍රියේ දී ඔහු ඇඳ තෙමා ගත් විට එය පිරිසිදු
කිරීමටත් කිසිවකු නො වනු ඇත. පසුගිය වසර දෙක තිස්සේ ඔහුව හුන් තැන ම නවතා තබා ගෙන
ඇති නො නවතින ආහ්හ්හ් හුම්ම්ම් ශබ්දයෙන් නැගෙන ඔහුගේ කෙඳිරිලි හඬ රාත්‍රී ආහාර
පිළියෙල කරමින් සිටින මේ මොහොතේ දී පවා මට ඇසෙයි.
අද දහවලේ දී නානි මෙම්සහිබ් හා ඇගේ නව පෙම්වතා වෙනුවෙන්
තේ උණු කරමින් සිටින විට මගේ හාම්පුතු මගේ නම අඬගෑවේ ය. ගෘහභාණ්ඩ ලෙස ඔහුගේ සයනය
හා ජීවිතය ඒ සයනයට සීමා වීමට පෙර ඔහු පොත් කියවීම සඳහා භාවිත කළ උසැති ඇන්දකින්
යුත් අසුන පමණක් ඇති ඔහුගේ කාමරයට මම පිය නැගුවෙමි. සිය කොඳු ඇට පෙළේ වේදනාවෙන්
යම් සුවයක් ලබා ගැනීම සඳහා ඔහු බිම වැතිර සිටියේ ය. ඔහුගේ කමිසයේ ඉදිරිපස දහදියෙන්
පෙඟී තිබූ අතර රෝගාතුර බව විදහා පෑ ඇසි පිය නිල් පැහැයට හැරී තිබුණි. ඔහු දෙස බැලූ
මට නානි මෙම්සහිබ් ඔහුගේ දිවියට ඇතුළු වීමට පෙර දිලිසෙන නෙතු යුගලකින් හා කඩිසර
ගමන් විලාසයකින් යුතු ශක්තිමත් මිනිසෙකු ව සිටි මගේ හාම්පුතු වෙත ඇදී ගිය මතකයෙන්
පියවි ලොවට පැමිණෙන්නට සිදු විය.
“රාම් මෝහන්, මගේ උණු වතුර බෝතලේ ලෑස්ති ද?” සිය රළු
කටහඬින් ඔහු විමසුවේ ය.
“හජූර්[1],
මම නානිට තේ හද හද හිටියෙ, මං ඔබටත් වතුර ටිකක් උණු කරන්නම්.”
“මේ පාර මොකාද ඇවිත් ඉන්නේ?”
“ඒ මහත්තයට සිංගප්පූරුවෙ හෝටලයක් තියෙනවලු,” මම ඔහුට
පැවසුවෙමි. “ මං වතුර ටිකක් රත් කරන් එන්නම් හජූර්,” යි පවසා සැණෙකින් කාමරෙයන්
පිට වූයෙමි. මා දන්නා පරිදි නානි මෙම්සහිබ් සමඟ සිටින පුරුෂයා සතු ව සිංගප්පූරුවේ
හෝටලයක් නොමැත. ඔහුගේ රැකියාව පිළිබඳ මා කිසිවක් නො දන්නාමුත් “හෝටලය” යනුවෙන් මා
සඳහන් කළේ මගේ හාම්පුතු හා නානි මෙම්සහිබ් සතු ව නගරයේ ප්‍රසිද්ධ හෝටලයක් ඇති
හෙයින් ඒ මිනිසා මෙහි පැමිණියේ ව්‍යාපාර කටයුත්තක් පිණිස යැ’ යි අපට සිතිය හැකි වන
බැවිනි. සත්‍ය වශයෙන් ම මේ වයසක මිනිසා ඇය සමඟ දිගු කාලීන සබඳතා නො පවත්වන ඇගේ
පෙම්වතුන් ගොන්නට එක් වූ නව සාමාජිකයෙකි. එහෙත් මා මුසාවක් පැවසූවේ අප අතර ඇති වූ
සංවාදය විගසින් නිමා කිරීමට මා හට අවැසි වූ හෙයිනි. ඒ මොහොතේ දී මගේ හාම්පුතුට
හැඟුණේ කුමක් ද යන්න දැන ගැනීමට මට අවශ්‍ය නො වුණි.
ඊයේ ඇය මට එල්ල කළ අපහාසය සමඟ මම තවමත් ගැටෙමින් සිටිමි.
මා සිදු කිරීමට උත්සාහ කළ එක ම දෙය නම් බීමතින් නිවසට පැමිණ සාරිය පිටින් ම සිය ඇඳ
මතට ඇද වැටුණු නානි මෙම්සහිබ්ව පොරෝනයෙන් ආවරණය කිරීම පමණි. එහෙත් මා එසේ කිරීමට
තැත් කරන විට ම සිය දෙනෙත් විවර කළ ඇය මට බැණ වැදුණා ය.
දැන් මගේ හාම්පුතුගේ කාමරයේ සිට මුළුතැන්ගෙයට ආපසු
පැමිණෙමින් සිටි මට උඩු මහලේ සඳලුතලයෙන් නැගුණි සිනා හඬ ඇසුණි. නානි මෙම්සහිබ්
නිවසට රැගෙන එන පිරිමින් සියලු දෙනා ම පාහේ මගේ හාම්පුතුගේ වයසේ, එනම් පනස් වියැති
හෝ ඒ ආසන්න වයසක පසු වූවන් විය. මාස කිහිපයකට ඉහත දී අවුරුදු විසි නවයක පමණ
තරුණයෙකු ඇය සමඟ වූ මුත් ඔහුගේ සබඳතාව
සතියකට වඩා නො පැවැත්වුණි.
මා උඩු මහලට තේ රැගෙන යන විට පුටුවක හාන්සි වී සිටි නානි
මෙම්සහිබ්ගේ දෑස පිය වී තිබිණි. වයසක මිනිසා ඈ වෙනුවෙන් ගී ගයමින් සිටියේ ය. දිගටි
සිගරැට්ටුවක් ඔහුගේ අතැඟිලි අතර දැල්වුණි. හින්දි ගීයක පද මට ඇසෙන්නට විය: “මේ
දැවෙනා ආශාවේ, මා තව ගැඹුරට ඇදුණා වේ, ...”.
ඔහුගේ දෙතොල් අතරින් පිට වන වචනයක් පාසා තමන් මුසපත් වන
බව හැඟවෙන සිනහවක් ඇගේ මුව මත ඇඳී තිබුණමුත් සැබෑවට ම ඔහුගේ කටහඬෙහි එතරම් මිහිරක්
නො වූ හෙයින් මට සිනහ පහළ වීම ආයාසයෙන් මැඩ ගතිමි.
තමා පිටුපස සිට ගෙන සිටි මා දුටු පුරුෂයා ගායනය නැවැත්වූ
අතර ඔහුගේ මුහුණ ඇඹුල් විය. දෙනෙත් පියා ගත් වන ම සිටි නානි මෙම්සහිබ් ඔහුගේ අත
අල්ලා, “නවත්තන්න එපා අනේ,” යි පැවසුවා ය.
ඔහු ඇගේ අතට තට්ටු කර, “නානි, තේ” යි පැවසුවේ ය.
එවිට මා දුටු ඇය සිය ඇඟිල්ල දිගු කොට බන්දේසිය පසෙකින්
තබන ලෙස සංඥා කළා ය.
නානි මෙම්සහිබ් දිදුලන දිගු වරලසකින් හා කඳුළුබර වූ කලක
මෙන් තෙත් වූ දෑසකින් යුත් තැනැත්තියකි. ඇය දුක් විඳිනවා’ ය යන හැඟීම ඇගේ
චමත්කාරයට අමුත්තක් එක් කරමින් ඒ දෙනෙත තුළ සටහන් ව ඇත. ඇගේ දෙතොල මන බඳනාසුලු ය.
ඒ දෙතොල් නිරන්තරයෙන් දිස්නය දුන් බැවින් මා සිතන හැටියට ඇය ඒවා නිතර ම තෙල් ගා
මදිනවා විය යුතු ය. ඇය සිනහසෙන්නේ ඔබට සතුටින් සිටීමට ඇගේ අවසරය ලබා දෙන්නාක්
මෙනි. ඇගේ සිරුරේ ඇති එක ම දෝෂය නම් තරමක් වක් වූ නාසය යි; එය වමට නැඹුරු වී
පිහිටා ඇත. එහෙත් ඇගේ මුහුණ කෙතරම් දැකුම්කලු ද යත් නාසය ඇගේ චරිත ලක්ෂණ පිළිඹිබු
කරන්නක් පමණක් විය යුතු ය.
ඇය මට තේ වත් කරන ලෙස අණ කළා ය. තේ වත් කරන අතරතුර මම,
ඇය තවමත් මා සමඟ කේන්තියෙන් පසු වන්නේ දැ’ යි බැලීමට තැත් කළෙමි. එහෙත් ඇගේ මුහුණ
සංසුන් බවක් ඉසිලූ අතර ඇගේ අවධානය මිනිසා වෙත යොමු ව තිබුණි. නැවත ගී ගැයීම ඇරඹූ
ඔහු ගීයේ තාලයට ඇගේ නිකටට සෙමෙන් තට්ටු කළේ ය. තේ වත් කිරීම නිමා කළ මම පහත මාලයට
ගියෙමි.
මගේ හාම්පුතු නැවතත් මා ඇමතූ බැවින් මම ඔහුට වතුර උණු
කිරීම සඳහා විගසින් මුළුතැන්ගෙය වෙත ගියෙමි. සිය ප්‍රියාදර බිරිඳ සිය නිවස තුළ දී
ම වෙනත් පිරිමියෙකු හා විනෝදයෙන් පසු වෙද්දී දැඩි වේදනා උසුලන මගේ හාම්පුතු ගැන
ගෑස් ලිප පත්තු කරමින් සිටි මට ඇති වූයේ ඉමහත් කණගාටුවකි.
මගේ හාම්පුතු හා විවාහ වීමට පෙර ඔහු හමු වීමට පැමිණි ඇය
මීට වඩා බෙහෙවින් වෙනස් තැනැත්තියක වූවා ය. ඔහු හමු වීම සඳහා ඇය ප්‍රථමයෙන් ම මෙහි
පැමිණියේ දැනට වසර පහකට පමණ පෙර වුවත් ඇය එදා සැරසී සිටි කළු පැහැ සාරිය තව ද මාගේ
මතකයේ පවතී. එකල ඇයට වයස අවුරුදු විසි පහක් විය. ඒ උණුසුම් දහවලේ දී විසිත්ත කාමරයේ
අසුන් ගෙන සිටි මගේ හාම්පුතු වෙතත් නානි මෙම්සහිබ් හා ඇගේ මව වෙතත් බිත්තර ඔම්ලට්
පිළිගැන්වූ මම නානි මෙම්සහිබ් හා මගේ හාම්පුතු එකිනෙකා දැන හඳුනා ගත්තේ මීට සුළු
මොහොතකට පෙර වුව ද ඔවුනතර ඒ වන විටත් ශක්තිමත් බැඳීමක් ඇති වෙමින් පවතින බව ඉවෙන්
මෙන් වටහා ගතිමි. මගේ හාම්පුතු දන්නා හඳුනන තැනැත්තියක වූ ඇගේ මව කෘතඥතා පූර්වක
සිනහවකින් යුතු ව ඇගේ දියණියට ඔහුගේ ආධ්‍යාත්මික උපදේශනයන්ගෙන් කෙතරම් දේ උගත හැකි
ද යන්න පිළිබඳ යමක් ඔහු සමඟ පවසමින් සිටියා ය. ඈ පැවසූ සියල්ලට ම හිස වනමින් සිටි
මගේ හාම්පුතුගේ දෑස ඉඳහිට වරක් දෙවරක් පමණක් ඔහු දෙස බැලූ නානි මෙම්සහිබ් වෙත ම
රැඳී තිබුණි.
“මම කැමතියි ඔබ මගේ රැස්වීම්වලට සහභාගී වෙනව නම්,” නානි
මෙම්සහිබ්ගේ මව මගේ හාම්පුතු සමඟ කතා කරමින් සිටිය දී ම ඔහු නානි මෙම්සහිබ්ට
පැවසුවේ ය. ඒ මොහොතේ දී මව අත වූ කෝප්පයට තේ වත් කරමින් සිටි මා අතින් ඇගේ උකුලට ෙත්
ඉහිරී යාමට නො දී වළක්වා ගැනීමට හැකි වූයේ මගේ වාසනාවට ය. මගේ හාම්පුතු කිසි ම
දිනෙක තරුණ පුද්ගලයන්ට සිය සතිපතා රැස්වීම්වලට ඇරයුම් නො කළේ ය; සිය ඇතුළාන්තය දෙස
බැලීමට පෙර ඔවුන් ජීවිතයේ කැලඹීම් අත්විඳිය යුතු බව ඔහුගේ විශ්වාසය විය. එබැවින්,
හමු වූ වහා ම ඔහු විසින් ඇයට ආරාධනා කරනු ලැබීම සැබැවින් ම අසාමාන්‍ය සිදු වීමකි.
ආගන්තුක යමක් සිදු වෙමින් පවතින බවත් එය නරක අතට හැරෙනු ඇති බවත් මම දැන සිටියෙමි.
එහෙත්, ඇත්ත වශයෙන් ම මා මෙය පවසන්නේ සිදු වූ සියල්ල දැන ගැනීමෙන් පසු ව ය.
“මම හරි ම ආසාවෙන් ඔබේ රැස්වීම්වලට එන්නම්,” මුල් වසර
කිහිපයේ දී ඇය භාවිත කළ පහත් ස්වරයෙන් නානි මෙම්සහිබ් පැවසූවා ය.
එවදන් ඇසුණු මගේ හාම්පුතු සෙමෙන් ඇදී ගිය මද සිනහවක් ඇය
වෙත පිරිනැමුවේ ය.
එකල මගේ හාම්පුතු වසර දෙකක් තිස්සේ කනවැන්දුම් ව සිටි
පුරුෂයෙකි. මා හට කිසි දිනෙක හමු වී නැති ඔහුගේ භාර්යාව මෝටර් රථ අනතුරකින් මිය
ගොස් සිටියා ය. රාමු කරන ලද ඇගේ සුවිසල් පින්තූරයක් ඔහුගේ කාමරයේ බිත්තියක තවමත්
රැඳී ඇත; පුළුල් මුහුණකින් හා ශිව දෙවියන් කෙරෙහි සිය භක්තිය ප්‍රකාශ කෙරෙන සඳුන්
ඉරි වලින් සැරසුණ නළල් තලයකින් හෙබි ඇය සරල පෙනුමැති කාන්තාවක් වූවා ය. ඇය ඔහු වෙත
එකදු දරුවෙකු පිරිනැමුවේ නැත. ඇගේ මරණින් පසු මගේ හාම්පුතු සිය භාර්යාවගේ උරුමය
දායාද කොට ගන්නාක් සේ ඇගේ ආගම වැළඳ ගත්තේ ය. ඔහු නිතිපතා භාවනා කළ අතර යෝග අභ්‍යාසයන්හි
යෙදුණේ ය. මා ඔහුගේ කාමරයට ඇතුළු වන ඇතැම් අවස්ථාවල ඔහු ඔලුවෙන් සිට ගෙන දෙපා
සීලිම වෙත යොමු කර ඇද වූ මහපටඟිල්ල අඩ සඳක් මෙන් නමා සිටින අයුරු දැක ගත හැකි විය.
උඩු යටිකුරු ලෝකය දෙස බැලීමට දැඩි උත්සාහයක යෙදෙන මගේ හාම්පුතු දැකීම මුල් දින
කිහිපයේ දී මට විනෝදය ගෙන දෙන්නක් විය. ඉන් පසු මා සිතුවේ ඔහුගේ සිරුරේ බර ඔහුගේ
ඔළුව විසින් දරා සිටින්නේ කෙසේ ද යන්න හා ඔහු අනෙක් පසට නො පෙරළී සිටින්නේ කෙසේ ද
යන්න පිළිබඳ ව යි. තේ හෝ කෑමට යමක් අවශ්‍ය දැ යි මා විමසූ විට ඔහු පිළිතුරු නො
දුන්නේ ය. පසු ව, තමන් ශීර්ෂාසනයෙන් සිටි බවත්, එම ඉරියව්ව මගින් සමස්ත ශරීරය ම
පුනර්ජීවනය ලබන හෙයින් ‘සකලාසන රජු’ ලෙස එය හැඳින්වෙන බවත් ඔහු මට පැහැදිලි කළේ ය.
එමෙන් ම, ශක්තිය ගලා යාමට බාධා වන හෙයින් භාවනාවෙහි හෝ යෝගා අභ්‍යාසයෙහි යෙදී
සිටින විට තමන්ට කතා නො කරන ලෙසට ඔහු මට අවවාද කළේ ය. සත්තකින් ම, ඔහු පැවසූ
සියල්ල සම්පූර්ණයෙන් ම අවබෝධ නො වූමුත් අතීත ඍෂිවරුන් විසින් යමෙකුට ආත්මීය වශයෙන්
ඉහළ මට්ටමකට ළඟා වීම පිණිස මෙම ශිල්ප ක්‍රම සැලසුම් කර ඇති බව මම දැන සිටියෙමි.
මම ද මගේ කාමරය තුළ දී ශීර්ෂාසනයෙන් සිටීමට උත්සාහ
කළෙමි. ඒ බව මගේ හාම්පුතුට නො පැවසූව ද මගේ කොට්ටය බිම තබා ඔහු කරන ආකාරයට ම
ඉදිරියට නැවී හිස ඒ මත රැඳවූයෙමි. ඉන්පසු මාගේ දෙපා සෙමෙන් සෙමෙන් ඉහළට එසවීමට
තැත් කළෙමි. එහෙත් ඒවා ඉහළට යොමු වූයේ නැත. කලකිරීමට පත් මා ඒවා ඉහළට විහිදුවීමට
තැත් කළ විට මගේ කොන්ද බිම වැදුණු අතර කාමරය මා වටා භ්‍රමණය වෙමින් තිබුණි. මම
ශීර්ෂාසනය අතහැර දැමුවෙමි. භාවනා කිරීමට උත්සාහ කළෙමි. එරමිණියා ගොතා වාඩි වූ මම
සිතින් ‘ඔම්...’ යි මැතිරීමි. එහෙත් මගේ අවධානය හාම්පුතුගේ රෙදි සේදීම, වැරැන්ඩාව
අතු ගෑම, ගෝවා මල් හා වට්ටක්කා මිල දී ගැනීම සඳහා වෙළඳ පොළට යෑම වැනි වෙනත් අනේක
කාර්යයන් කෙරෙහි ඇදී ගිය හෙයින් ‘ඔම්’ මා සිතින් අතුරුදන් විය. භාවනා කරන මොහොතේ
මා පසු වූයේ ගෙදර මතක් වීමෙන් ඇති වූ ශෝකයෙන් හෝ සිත් තැවුලින් යුතු ව නම් කුඩා
තිත් සේ ඈතට දිස් වුණු මැටි ගෙවල්වලින් යුත් කඳු ගැටවලින් වට වූ ගම්මැද්ද අසලින්
චණ්ඩ ව ගලා යන දොළ පාරින් හැඩ වූ මගේ ගම්මානය වෙත සිත ඇදී යයි. නැතහොත් මගේ
ඥාතීන්ගේ හා අසල්වැසියන්ගේ ජීවිත පිළිබඳ ව මම මගෙන් ම ප්‍රශ්න කරමි. ඝනශ්‍යම් සිය
සහෝදරයා සමඟ ආරවුල් ඇති කරගෙන ඔහුගේ ඉඩම අයිති කරගෙන ද? කාලිදාස් වහ වැටී සිටි
කාන්තාව විවාහ කරගැනීමට ඔහුට හැකි වුණි ද? අවුරුදු අනූවකට ආසන්න ව සිටි මගේ වයසක
නැන්දාගේ දෑස් පෙනීම සම්පූර්ණයෙන් ම අහිමි වීම ද? නියුමෝනියාව සෑදී මිය ගිය මගේ
බිරින්දෑව ද විටින් විට මගේ මතකයට නැගෙයි. ඇගේ මරණින් පසු නැවත විවාහ නො වන බවට මම
දෙවියන් ඉදිරියේ දිව්රා පොරොන්දු වී සිටියෙමි. එසේ ප්‍රතිඥා දීම සඳහා වූ පැහැදිලි
හේතුවක් මට සොයා ගත නො හැකි වුවත් එකල කිරීමට තිබූ සුදුසු ම ක්‍රියාව එය බව මම
සිතා සිටියෙමි. ඇය ආදරණීය වූ ද භක්තිමත් වූ ද, මාගේ හාම්පුතුගේ භාර්යාව තරමට ම
ආගමට දහමට ලැදි වූ ද ගැහැනියක් වූ හෙයින් වෙනත් කාන්තාවක සමඟ නැවත ජීවිතය ආරම්භ
කිරීමට උත්සාහ කිරීම පිළිබඳ ව මට සිතා ගන්නටවත් නො හැකි විය. මගේ බිරින්දෑගේ රුවත්
ඥාතීන් පිළිබඳ ප්‍රශ්නත් බලහත්කාරයෙන් වාගේ සිතට ඇතුළු වන්නට වූ හෙයින් අවසානයේ දී
මා සුසුමක් හෙලමින් භාවනාව අතහැර දැමුවෙමි. භාවනාව සුදුසු වන්නේ මගේ හාම්පුතු මෙන්
උසස් මනසක් ඇත්තවුන්ට බව නිශ්චය කළෙමි.
භාවනා හා යෝගා අභ්‍යාස පිළිබඳ ගැඹුරින් හැදෑරීමෙන් පසු
මගේ හාම්පුතුට ආධ්‍යාත්මික නායකයෙකුගේ තත්වයක් උදා විය. ඔහු පිටු පා යන විට පවා
සියල්ලෝ ම ඔහු පිළිබඳ ගෞරවාදරයෙන් කතා කළහ. අනෙකාගේ චරිතයේ අඩු ලුහුඬුකම් සොයන
මිනිසුන් සිටින මේ නගරයේ මෙවැනි දෑ සැබැවින් ම දුර්ලභ ය. “කෛලාශ් ජී නම් ශාන්තුවරයෙක්,”
ඇතැම්හු පැවසූහ. “සැබෑ දානපතියෙක්.” ඔවුහු ඔහුගේ පරිත්‍යාගශීලීත්වයෙන් ඉදි වූ
පන්සල් හා පාසල්වලට ඔහු කළ පරිත්‍යාගයන් පිළිබඳ ව කතා කළහ. සමහරක් ඔහුට සර්වඥතා
ඥානය අවබෝධ වී ඇති බවත් මේ විශ්වයේ සැබෑ ස්වභාවය ඔහු වටහා ගෙන ඇති බවත් අන් අයට ද
විමුක්ති මාර්ගය පෙන්විය හැකි බවත් කියමින් ඔහු ව වර්ණනා කළහ. ඔහු නගරයේ ඇති සුඛෝපභෝගී
ම හෝටලයක අයිතිකරුවා වුවත් තණ්හා ආශා සිඳ බිඳ දමා මෝක්ෂ සුවය සාක්ෂාත් කරගත්තෙකුගේ
තැන තබා ඔවුහු ඔහු පිළිබඳ ව කතා කළහ. අවවාද අනුශාසනා ලබා ගැනීමටත් මනසේ හා ආධ්‍යාත්මයේ
ස්වභාවය පිළිබඳ දේශනා ඇසීමටත් මිනිස්සු ඔහු වටා රොක් වන්නට වූහ. ඔහුගේ දේශනා
නිතිපතා පැවත්වීමෙන් ජනයාට මහත් සෙතක් අත්වනු ඇතැ’ යි එක් අනුගාමිකයෙකු යෝජනා කළ
අතර සතිපතා ආධ්‍යාත්මික සැසිය ආරම්භ වූයේ එතැන් පටන් ය. වසර ගණනාවක අධ්‍යයන හා ප්‍රත්‍යාවේක්ෂණ
කිරීමෙන් පසු උසස් තත්වයකට එළඹුණ ආධ්‍යාත්මික ගුරුවරුන් හා ආගමික නායකයන් ගහණ වූ
මේ නේපාලයේ සිය ආධ්‍යාත්මික ගමන් මග යම්තමින් පාදා ගත් මාගේ හාම්පුතු ඉතා ඉක්මණින්
හා අනායාසයෙන් ආධ්‍යාත්මික නායකයෙකුගේ තත්වය උදා කරගැනීම සැබැවින් ම විමතිය
දනවන්නකි. එහෙත්, මගේ හාම්පුතු සතු ව අන් අය කෙරෙහි නො වූ, විපතට පත් මිනිසුන්ව
ඔහුගේ වදන් සොයා ඒමට හා සිය ජීවිත කතා ඔහු හමුවේ දිග හැරීමට පොළඹවනු ලැබූ අව්‍යාජ
බලයක් සහ හුදෙක් ඔහු ඉදිරියේ පෙනී සිටීමෙන් ම සිය සිතට සැනසුම උදා වන බව මිනිසුන්ට
දනවන්නා වූ ප්‍රභාන්විත බවක් විය.
නානි මෙම්සහිබ්ගේ නිතිපතා පැමිණීම ආරම්භ විමට පෙර මගේ
හාම්පුතුගේ ඥාති සනුහරය ඔහු බැලීමට පැමිණෙන සති අන්තයන් හා ආධ්‍යාත්මික සැසි සඳහා
අමුත්තන් පැමිණෙන සන්ධ්‍යාවන් හැරුණු කොට මාත් ඔහුත් වැඩි කාලයක් ගත කළේ හුදෙකලාවේ
ය. සතියේ දිනවල දී දවස පුරා ම හෝටලයේ රාජකාරි කරන ඔහු ප්‍රමාද වී නිවසට පැමිණෙන්නේ
කිසිදු වෙහෙස මහන්සියකින් තොර ව ය. මා ඔහු වෙනුවෙන් බෝංචි, කඩල, හා නිවිති පිළියෙල
කරන අතරවාරයේ දී ඔහු සිය යෝගා අභ්‍යාසවල හා භාවනාවල නිමග්න ව සිටින අතර ඉන්පසු අපි
දෙදෙනා ආහාර ගත්තෙමු. භගවත් ගීතාව, පතංජලී යෝග ප්‍රදීපය, රාමායණය, උපනිෂද් ග්‍රන්ථ
හා බෞද්ධ සූත්‍ර වැනි බරසාර ආගමික හා දාර්ශනික කෘතිවලින් සැදුම්ලත් සිය ග්‍රන්ථ
සමූහයෙන් මොහොතකට ඉවත් ව සයනයේ වැතිරී සිටින ඇතැම් සන්ධ්‍යාවන්හි දී මම ඔහුගේ
දෙපතුල් සම්බාහනය කළෙමි. මගේ හාම්පුතුගේ පොත් රාක්කවල දුහුවිලි පිසින සෑම අවස්ථාවක
දී ම ඒවා පිරිමදිමින් ඒ තුළ නිදන් ව ඇති විස්මයජනක රහස් මට කවර දා නම් අවබෝධ කරගත
හැකි වේ දෝ’ යි සිතන්නට පුරුදු වූ හෙයින් ඒ ග්‍රන්ථ නාමයන් මගේ සිතේ තදින් සටහන්
වී ඇත. අනෙක් අතට, මගේ හාම්පුතු සන්ධ්‍යාභාගයේ දී පොත්පත් අතරට වී නො සිටියේ නම්
මම බෙහෙවින් සතුටට පත් වීමි. සන්ධ්‍යාවේ රජයන නිහැඬියාව මැද මගේ ස්වාමියාගේ
දෙපතුල් සම්බාහනය කරමින් නිදි කිරා වැටෙන ඔහුගේ මුහුණ දෙස බලා සිටීමෙන් මා විඳි
තෘප්තිය හා සාමකාමී බව අන් කවර දාක හෝ මා අත්විඳ නැත. වියපත් බව හේතුවෙන් මගේ
සිරුර තුළ දිරාපත් වන ඇට සැකිල්ල, මගේ ගමෙන් මා කෙතරම් දුරකට පා වී විත් ද යන වග,
මගේ මියැදුණු බිරින්දෑ පිළිබඳ සිතුවිලි ආදී මගේ සිතට වද දුන් අවුල් තැවුල් සියල්ල
එවිට මා හට අමතක වී ගියේ ය. මට හැඟුණේ මා නැවතත් ළමා වියට එළඹ ඇති බව යි.
අපි සෑම මොහොතක ම නිවස තුළ හුදෙකලා නො වීමු. සෑම
සෙනසුරාදා දිනක ම දහවල මගේ හාම්පුතුගේ ඥාති සනුහරයේ බොහෝ දෙනා පැමිණි අතර ඉවුම්
පිහුම් සඳහා මා හට සහාය වීම පිණිස ඔවුන්ගේ මෙහෙකරුවන් ද රැගෙන ආහ. මෙහෙකරුවන්
රාශියක් මගේ මුළුතැන්ගෙය වටා දුව පනිමින් මගේ මෙවලම් අස්ථානගත කිරීම මට දැඩි අප්‍රසන්න
කරුණක් වූ නමුත් ඔවුනගේ ඝෝෂාව හා කතාබහ මගේ හාම්පුතුගේ චිත්ත ප්‍රීතියට තුඩු දුන්
හෙයින් මා නිහඬ ව සිටියෙමි. ඔවුනතර සිටි ලක්ස්මී මගේ හාම්පුතුගේ මාමාගේ නිවසේ සේවය
කළ දාහත් හැවිරිදි තමංග්[2]
ජාතික මෙහෙකාර කෙල්ලකි. ලක්ස්මිගේ පැහැදිලි වුවනතත් සුකොමළ අඟපසඟත් වෙත මගේ දෑස
යොමු වීම මට නවතා ගත නො හැකි විය. එබඳු අදහසකින් ඇය පිළිබඳ ව සිතීම මගේ වයසට අනුව
ඉතා නො මනා වූවක් බව දැන සිටියත් ඒ සෙනඟ පිරුණු මුළුතැන්ගෙය තුළ ඇගේ උකුළු මුකුළු
හමුවේ අප දෙදෙනාගේ සිරුරු එකිනෙක ස්පර්ශ වන විට එයින් වින්දනයක් ලැබීමට මම හුරු වී
සිටියෙමි. එබඳු මොහොතක දී ඇය සියලු දෙනාට ම ඇසෙන ලෙස මහා හයියෙන්, “මේ රාම් මෝහන්
දායිගෙ[3]
දතුත් හෙලවෙනවා, ඒ මදිවට අතුත් හෙලවෙනවා,” යි පැවසීමට පුරුදු වී සිටියා ය.
මුල දී අනෙකු මෙහෙකරුවෝ ඊට සිනහසුනමුත් සති කිහිපයකින්
පසු මා ඈ අසලට පැමිණෙන සෑම මොහොතක දී ම ඇගේ මුහුණේ යම් කිසි ආතතියක ලකුණු ඇඳී යන
බව මට වැටහුණි. ඇය තවදුරටත් මා හා මුකුළුවට නො පැමිණි අතර ඇය පිළිබඳ කරන විහිළුවලට
මෙහෙකරුවෝ තව දුරටත් සිනහ නො වූහ. දිනක් ඔවුන් පිටත් ව ගිය පසු, සන්ධ්‍යාවේ
අමුත්තන් පැමිණීමට ප්‍රථම, මුළුතැන්ගෙයට පිවිසි මගේ හාම්පුතු මෙසේ පැවසී ය. “රාම්
මෝහන්, ටික දවසකට ගමේ ගිහින් එනව. නැදෑයෝ එහෙම බලල. ඔන්නම් ආයෙ කසාදයක් බැඳ ගන්නව.
දැන් තමුසෙ ගාව සල්ලි ටිකකුත් තියෙන එකේ ගැළපෙන මනමාලියක් හොයා ගන්න පුළුවන්
නොවැ.” මට එබන්දක් අවශ්‍ය නො වන බව මා පැවසූ විට ඔහු කීවේ, “අපේ ශාරීරික අවශ්‍යතා
බොහොම වැදගත්. අපි කොච්චර වයසට ගියත් අපිට ඒවා නවත්තන්න බෑ.” මම නැවතත් අනෙක්
මෙහෙකරුවන් විසින් කෑම අසුරා ඉතිරි වූ ඉඳුල් සහිත ව දමා ගිය දීසි කිහිපය සේදීමට
පටන් ගත්තෙමි. “කල්පනා කරල බලනවකො,” මගේ හාම්පුතු පැවසුවේ ය. “තමුසෙට ගෑනිවත් මෙහෙට
ම එක්කන් ඇවිල්ල අපිත් එක්ක ම නවත්තගන්න පුළුවන්.” ඇපල් ගෙඩියක් සපමින් සිටි ඔහු
තවදුරටත් කරුණු දැක්වූයේ ය. “හැම මනුස්සයෙකුට ම තමන්ගෙ ශාරීරික අවශ්‍යතා ගැන දැනුමක්
තියෙන්න ඔනි. අපේ ආත්මය තමයි අපේ ශරීරය.”
මගේ හාම්පුතු පවසන්නේ කුමක් ද යන්න මම දැන සිටියෙමි.
ලක්ස්මිගේ සිරුර මගේ සිරුරේ ස්පර්ශ වන විට මගේ ඉඳුරන් අවදි වූ නමුත් මා වැනි
වියපත් මිනිසෙකු එබඳු තත්වයකට පත් වීම නො මනා ක්‍රියාවකි. ඇඳෙහි වැතිර සිටින බොහෝ
රාත්‍රීන්හි දී, මගේ හදිසි ආශාවන් විසින් මට නරක නාමයක් ඇති කිරීම පිළිබඳ ව මා
කණගාටු වුවත් එසේ එම ආවේගයන් පිළිබඳ ව සිතීමෙන් මගේ හැඟීම් තව තවත් උද්දීපනය විය.
මගේ බිරින්දෑ ජීවත් ව සිටිය දී හෝ මගේ හාම්පුතුගේ නිවසේ සේවයට පැමිණීමට පෙර කිසි
දා මට මෙබඳු හැඟීම් ඇති වී නොමැති අතර මා වියපත් වන විට මගේ ආශාවන් වර්ධනය වී ඇතැ
යි සිතමින් මම ඉමහත් ව්‍යාකූලත්වයට පත් වූවෙමි. මා මගේ හාම්පුතුට කුමක් පවසන්න ද?
එබැවින්, “මම ඔබට තේ ටිකක් හදන්න ද හජූර්?” යි විමසීමි.
හිස වැනූ මගේ හාම්පුතු පිට වී ගියේ ය. මින් පෙර දී
කල්පනාවට ගැනීම සඳහා මට ම මා අවසර නො දී සිටි කාරණාවකට මගේ සිතට ඇතුළු වීම සඳහා
මාර්ගය ඔහුගේ වදන් ඔස්සේ විවර වූ නමුත් ආපසු ගමට ගොස් බිරිඳක් සෙවීමට මහත් වෑයමක්
දැරිය යුතු බව මම දැන සිටියෙමි. කෙසේ වෙතත්, නව බිරිඳ කෙබඳු තැනැත්තියක් වේ දැ යි
(සැබැවින් ම විවාහ වන්නට සිදු වුවත් මා විවාහ නො වන බව දැන සිටිය නමුත්) මවා
ගැනීමට එය බාධාවක් නො වූව ද ඇගේ රුව සිතෙහි ඇඳ ගැනීමට මා වෑයම් කළ සෑම මොහොතක දී ම
මා ඉදිරියේ දිස් වූවේ ඒ වන විට දෙවතාවක් පමණක් මේ නිවසට පැමිණ සිටි නානි
මෙම්සහිබ්ගේ මුහුණ යි. මා එයින් ඉමහත් චංචලභාවයකට පත් ව සිටි අතර වතාවක් මුළුතැන්ගෙය
තුළ දී මා අත තිබූ පීරිසියක් ලිස්සා බිම වැටී බිඳී ගියේ ය.
සෙනසුරාදා දිනවල සවස හතරට පමණ ඥාති සනුහරය පිට ව ගිය පසු
උඩු මහලේ ඇති සුවිසල් සඳලුතලයේ සුවපහසු ආසන පෙළට අසුරා කුෂන් ඇල්ලූ දැවමුවා
වේදිකාව ඒ ඉදිරියෙන් තැබීම මගේ කාර්යයක් විය. නිවස පිරිසිදු කර අමුත්තන්
පිළිගැනීමට සුදුසු වන පරිදි අස්පස් කිරීම ද මා අතින් සිදු විය. අමුත්තෝ සියලු දෙනා
ම පාහේ මගේ හාම්පුතු මෙන් ම වියපත් පිරිමි පුද්ගලයෝ වූහ. ඉඳහිට දිනෙක වැඩිහිටි
කාන්තාවක ද කණ්ඩායමට එක් වී සිටින අයුරු මට දැක ගත හැකි වුවත් කිසිදු කාන්තාවක්
නිතිපතා නො පැමිණියා ය.
නානි මෙම්සහිබ් මෙම සන්ධ්‍යා දේශනවලට තනි ව පැමිණීමට
පටන් ගත්තා ය. මගේ හාම්පුතු දේශන පවත්වන විට ඇගේ සුපුරුදු ලජ්ජාශීලී බව මුහුණතෙහි
රඳවා ගෙන කෙළවර අසුනකට වී නිහඬ ව සිටියා ය. අමුත්තන්ට තේ පිළිගැන්වූ මම හැකි සෑම
අවස්ථාවක දී ම පසෙකින් රැඳී සිටීමට උත්සාහ ගතිමි. ඉඳහිට අවස්ථාවක දී අමුත්තෙකු ඉතා
ආචාරශීලී ව පැනයක් විමසීම හෝ අදහසක් දැක්වීම සිදු කරනමුත්, වැඩි වශයෙන් ඇසුණේ සැඳෑ
සුළඟට තවත් සුවදායී බවක් එක් කළ පැහැදිලි කට හඬින් ඇසුණු මගේ හාම්පුතුගේ දේශනාව ම
ය. ඇය පැමිණි ප්‍රථම සන්ධ්‍යාවේ දී එහි රැස් ව සිටි සෑම පිරිමියෙක්ගේ ම මුහුණේ ප්‍රහේලිකාවක
සේයාවක් ඇඳී තිබූ අතර ඇතැමුන්ගේ දෙබැම ඉහළට එසවී තිබිණි. එහෙත් මගේ හාම්පුතු
කිසිදු පැහැදිලි කිරීමක් කළේ නැත; අවම වශයෙන් ඔහු ඇයව කණ්ඩායමේ අනෙක් අයට හඳුන්වා
දුන්නේ හෝ නැත. කළු පැහැ සාරියකින් හා කේශ කලාපය අතර රිදී පැහැයෙන් දිදුලන විශාල
තෝඩු යුග්මයකින් සැරසී තමා ඉදිරියේ අසුන් ගෙන සිටින, පුන් සඳ මෙන් බබළන මුහුණතකින්
යුතු මේ සුන්දර කාන්තාව හේතුවෙන් තම අවධානය නො බිඳින්නේ ය යන්න පසක් කරමින් ඔහු
සිය දේශනය අඛණ්ඩ ව පැවැත්වූවේ ය. ඈ කළු පැහැයෙන් ම සැරසී සිටින්නේ මගේ හාම්පුතුගේ
අවධානය තමා වෙත රඳවා ගැනීමට දැ’ යි මම කල්පනා කළෙමි.
මේ සැසිවලට සහභාගී වූ පුරුෂයන්ගේ මනසේ ස්ථිර වාසස්ථානය
වූයේ ගැඹුරු දාර්ශනික විෂයන් ය; ඔවුහු මගේ හාම්පුතුගේ දේශනවලට සාවධාන ව ඇහුම්කන්
දුන් අතර බාධා කිරීමක් සිදු වූයේ පැනයක් විමසීමට පමණි. නානි මෙම්සහිබ් මගේ
හාම්පුතුගේ මුහුණ දෙස නෙත් දල්වා ගෙන සිටින විට මම ඇය දෙස බලා සිටියෙමි. ඉඳහිට
ඔවුන්ගේ නෙත් මුණ ගැසුණු විට බිම බලා ගන්නා ඇගේ දෙකොපුල් තද රත් පැහැයට හැරෙණු මම
දුටුවෙමි. වරක්, ඇගේ දෑස කඳුලින් පිරී තිබූ අතර ඈ ඔහු වෙත පැමිණි මාර දූතිකාවකැ’ යි
එවේලෙහි මට සිතුණ අයුරු සිහි වෙයි. ඒ සිතුවිල්ල හදිසියේ මසිතට පැමිණ එසැණින් ම
අතුරුදන් විය. සිතුවිල්ලේ ඇති අනිත්‍යභාවය පිළිබඳ ව හා එය අවබෝධ කරගැනීමට භාවනාව
අපට ඉවහල් වන්නේ කෙසේ දැ’ යි යන්න මගේ හාම්පුතු නිරතුරු ව ම දේශනා කළේ ය. මා හට ද
සිදු වූයේ එය යි: මගේ සිතුවිල්ල ඇති වී නැති වී ගියේ ය. එහෙත්, ඇතැම් විට සිතුවිලි
දුබල වන්නේ ද තාවකාලික වන්නේ ද නැති හෙයින් එදා මට සිතුණ දෙය අද වන තෙක් ම මාගේ
මතකයේ රැඳී පවතී. ඇතැම්විට ඒවා තවදුරටත් සිත තුළ නැතැ’ යි මනසින් ධාරණය කරගනිද්දී
පවා ඒවා මොළය තුළ මුල් බැස ගෙන සිය පැවැත්ම තිර කරගන්නවා විය යුතු ය.
නානි මෙම්සහිබ් ඉතා ඉක්මණින් මේ නිවසේ නිත්‍ය
සාමාජිකාවක් වූවා ය. කෑම පිසීමටත් සෙනසුරාදා සන්ධ්‍යාවන්හි දී පැවැත්වෙන සුහද හමු
සඳහා සූදානම් වීමටත් ඇය මට සහාය වූවා ය. මෙමගින් නිවස තුළ වූ ඇගේ ආධිපත්‍යය වර්ධනය
වන ලකුණු පළ කෙරුණු බැවින් මගේ හාම්පුතුගේ ඥාතීන් ඇය පිළිබඳ කේන්තියකින් පසු වූහ.
“රාම් මෝහන් දායි,” දිනක් නානි මෙම්සහිබ් දූරකතන සංවාදයක සිටි අතරතුර ලක්ස්මී මා
ඇමතුවා ය. “මේ ගෙදර දැන් ඉස්සර තිබුණ වගේ නෙමෙයි.”
අනෙක් මෙහෙකරුවෝ හිස වනා එය අනුමත කළහ.
“මං ආයෙ මෙහෙ එන්නෙ නෑ,” ලක්ස්මී පැවසුවා ය.
මගේ හාම්පුතුගේ ඥාතිවරියක වූ පැද්දෙන ගමන් ලතාවක් ඇති
මහත දෙහත කතක් මුළුතැන්ගෙයට පැමිණ, “රාම් මෝහන්, මොනවද මේ ගේ ඇතුළෙ වෙන්නෙ ආ?”
යනුවෙන් විමසූවේ මා විසින් නානි මෙම්සහිබ්ට අප සමඟ සති අන්තයේ දී එක් වන්නැ’ යි
ආරාධනා කරනු ලැබුවා මෙනි. “කවුරු හරි අලුතින් ආව කියල අපි මුළුගැන්නෙන්න ඔනි ද?”
ඇය මහා මඬින් එසේ පැවසූවේ මගේ හාම්පුතුට හා නානි මෙම්සහිබ්ට ඇසෙන පරිදි බව සියලු
දෙනාට ම වැටහුණි. සැබැවින් ම, මගේ හාම්පුතු විසින් සිය ඥාතීන්ව අමතක කර දමා නො
තිබූ නමුත් නානි මෙම්සහිබ් ඉදිරියේ දී ඔහුට අසල සිටින අනෙක් අයවලුන් ව පිළිබඳ
සිහියක් නොමැති සෙයක් පෙනෙන්නට තිබුණි. දෙ උර සලා නො දන්නා බවක් හැඟවූ මම පිඟන්
සේදීමේ නිරත වීමි. මිනිත්තු කිහිපයකට පසු එහි පැමිණි නානි මෙම්සහිබ් සන්ධ්‍යා
අමුත්තන් වෙනුවෙන් පලතුරු සූදානම් කරන ලෙස මට අණ කළා ය. කිසිවකු වදනකුදු දෙඩුවේ
නැත. “උඹට ඇහුණ ද රාම් මෝහන්?” නානි මෙම්සහිබ් ඇසූ කල මම අත් පිස්නාවකින් දෑත පිස
දා ශීතකරණයේ වූ පලතුරු ඉවතට ගත්තෙමි. නානි මෙම්සහිබ්ගේ තෝඩුවක් ඇල්ලූ මගේ
හාම්පුතුගේ ඥාතිවරිය, “කොහෙන්ද අනේ ඔයා මේක ගත්තෙ? මටත් එකක් ගන්න ආසයි,” යි
පැවසුවා ය.
දවසින් දවස නානි මෙම්සහිබ් දිගු කාලයක් තිස්සේ මෙහි
ජීවත් වූ තැනැත්තියක සේ නිවස පුරා සැරිසරන අයුරු මම බලා සිටියෙමි. මා හට සහාය
වෙමින් හෝ උපදෙස් දෙමින් ඇය මුළුතැන්ගෙය තුළ කාලය ගත කළා ය. විසිත්ත කාමරයේ බිම
වාඩි වී සිය හතරැස් හැඩැති කුඩා උපැස් යුවල නාසය මත රඳවා ගන්නා ඇය මගේ හාම්පුතුගේ
ග්‍රන්ථ සමූහයේ වූ පොත් කියවූවා ය. පන්සල්වල කළු-සුදු ඡායාරූපවලින් කොරිඩෝරය
සැරසුවා ය. එක් රාත්‍රියක දී ඇය, මුළු දවස ම මෙහි ගත කළ ද නැවත නිවස බලා නො ගියා
ය. මගේ හාම්පුතුගේ නිදන කාමරය තුළට පිවිස එහි දොර අගුලු දමා මුළු රාත්‍රිය ම එතුළ
ගත කළා ය. එදින රාත්‍රියේ දී මා වෙනුවෙන් වෙන් කර තිබූ එළිමහන් නිවහනට නො ගිය මම
මගේ හාම්පුතුගේ නාන කාමරය තුළට වී සිටියෙමි. බලාපොරොත්තු දල්වා ගෙන මා සවන් යොමා
සිටිමුත් ඔහුගේ නිදන කාමරයෙන් එකදු ශබ්දයක් හෝ නැගෙනු මට නෑසුණි. ඒ සමග ම දැඩි
ලජ්ජාවකට පත් වූ මම වහ වහා මගේ කාමරයට පිවිසියෙමි.
එතැන් පටන්, මගේ හාම්පුතු හා නානි මෙම්සහිබ් වෙන් කළ නො
හැකි විය. ඔහු ඇය දෙස බලනා සෑම විටක ම තමා සිටින්නේ කොතැන ද, අවට සිටින්නේ කවුද,
කරන්නේ කියන්නේ කුමක් ද යනා දී කිසිවක සිහියක් නොමැති බව පෙනෙන්නට තිබුණි. ඇය ඉතා
මිහිරි ස්වරයෙන් “මගේ නාකි පප්පා,” යනුවෙන් ඔහුව අමතන්නට පටන් ගත්තා ය. හෝටලයට
යාමට පවා ඈ ඔහු සමඟ එක් වූ අතර එහි රැකියා ලබා ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ මගේ
හාම්පුතු පසුපස වැටී සිටි ඥාති සනුහරයේ බොහොමයක් දෙනා ව දුර්මුඛ කරමින් හෝටලයේ
සාමාන්‍යාධිකාරී තනතුරට ඇයව පත් කෙරුණි. කිසි දා එම හෝටලයට ගොස් නැති බැවින්, එහි
කාර්ය මණ්ඩලය ඇය පිළිබඳ ව කුමක් සිතනවා දැ’ යි මා නො දන්නේ වී මුත් ඇය පිළිබඳ චෝදනා
ගෙන හැර පෑම සඳහා නිතිපතා මා සොයා පැමිණි ඥාති සනුහරය මාර්ගයෙන් ඇයට කිසිදු
පිළිගැනීමක් නොමැති බවත් ඇගේ දුර්වල කළමනාකරණය හේතුවෙන් හෝටලයේ තත්වය පහතට වැටී
ඇති බවත් මට දැන ගන්නට ලැබුණි. සැබැවින් ම, මේ චෝදනාවල කිසිදු සත්‍යයක් තිබිය නො
හැකි බව මම දැන සිටියෙමි. මන්ද යත්, පළමු ව, මගේ හාම්පුතු කිසි සේත් ම එබන්දකට ඉඩ
නො තබන අතර දෙවනු ව, ඇය විසින් මේ නිවසේ අභිවෘද්ධිය සඳහා ද පියවර කීපයක් ගෙන
තිබුණි. බිත්ති සුදු පැහැයෙන් පින්තාරු කරවූ ඇය උද්‍යානයේ මලින් කොළින් අලංකාර
කිරීම සඳහා උයන්පල්ලන් දෙදෙනෙකු කුලියට ගෙන තිබූ අතර මුළුතැන්‌ෙගය විශාල කරවූ
හෙයින් වැඩ කිරීම සඳහා මට වැඩි ඉඩ පහසුවක් ලැබුණි. එමෙන් ම ඇය පශුපතිනාත් පන්සලේ
හා ශිවපුරි කන්දේ අසිරිමත් දර්ශනය නෙත ගැටෙන පරිදි උඩු මහලට සඳලුතලයක් ද එක් කළා
ය. ඉතා කෙටි කලක් තුළ මම ඇගේ අධිකාරියට හුරු වූ අතර මට යම් ගැටලුවක් ඇති වූ විට
හාම්පුතු වෙනුවට ඈ සොයා ගියෙමි. ඇය මෙතරම් ඉක්මණින් මේ තෙදවන්තයාගේ නිවහනෙහි සිය
බලය ස්ථාපිත කිරීම ඇතැම්විට මා නුරුස්සන්නක් වූ නමුත් ඇය එය සිදු කර තිබූ ආකාරය
බොහෝ විට මගේ පැහැදීමට ලක් විය.
“මං දන්නව ඔකිට මොනව ද ඔනි කියල,” එක් සෙනසුරාදාවක දහවලේ
දී මගේ හාම්පුතුගේ ඥාතිවරිය මට කෙඳිරුවා ය. “ඔකි අන්තිමට කරන්නෙ හෝටලෙයි මේ ගෙදරයි
ඒකිගෙ නමට ලියාගෙන අරයවයි උඹවයි ඒකිගෙ ජීවිතෙන් එළියට ඇදල දාලා තරුණ දළකාරයෙක්ව
බැඳගන්න එක.” මට ඉතා සමීප ව නැඹුරු වී සිටි හෙයින් දවස තිස්සේ ම සිය මුව තුළට ඔබා
ගනු ලැබූ පරණ රාබුවල ගඳ සමඟ මුසු වූ ඇගේ හුස්ම මගේ නාසයේ තැවරිණි. “ඔය නාකි
මිනිස්සුයි තරුණ ගෑනුයි අතර ඇති වෙන සම්බන්ධකම් කවදාවත් හරියන්නෙ නෑ. අනික මේ
ගෑනි, ඔකිට තියෙන්නෙ වෙනම අදහසක්.”
ඊර්ෂ්‍යාකාර ඥාතීන් සමඟ නානි මෙම්සහිබ් පිළිබඳ ව කතා
කිරීමට නො කැමති වූ හෙයින් මම මුණිවත රැක්කෙමි. එහෙත් නානි මෙම්සහිබ් මේ නිවසට
පළමුවෙන් ම පැමිණි දින මා මනසින් දුටු අශුභ පෙරනිමිත්ත මට නැවත සිහි වූ අතර එදා
රාත්‍රියේ දී මා කල්පනා කළේ ඇය මගේ හාම්පුතුට බද්ධ වී සිටින්නේ ඔහුගේ මිල මුදල්
හේතුවෙන් ද යන්න යි.
ඔවුන්ගේ මංගල සන්ධ්‍යාවේ දී වහලය මත නිවි නිවී දැල්වුණු
රතු, නිල්, කොළ හා කහ පැහැති විදුලි බුබුළුවලින් නිවසට ප්‍රීතිමත් බවක් එක් විය.
ආහාර වර්ග විසි දෙකකින් සැදුම් ලත් භෝජන සංග්‍රහයකින් සමන්විත විශාල මඟුල් මඩුවක්
අංගනය මත ඉදි වී තිබුණි. එක් කෙළවරක හමුදා තූර්ය වාදක කණ්ඩායමක් විසින් ජනප්‍රිය
ගීත වාදනය කෙරුණු අතර සැමගේ ම මුවගට සිනහව කැන්දමින් කුඩා දරුවෝ නර්තනයේ යෙදුණ හ.
මගේ හාම්පුතුගේ උපන් ගමේ සිට බොහෝ ඥාතිවරු ප්‍රීතිය සැමරීම සඳහා පැමිණ සිටිය හ.
නානි මෙම්සහිබ්ව හඳුනන ඥාතීහු සුසුම්ලමින් එකිනෙකා දෙස බැලුවේ “අපි කියලා මොනවා
කරන්නද ඉතින්?” වැනි හැඟීමකින් යුතු ව ය. එහෙත් යුවළ ඉදිරියේ දී ඔවුහු ඉමහත් ප්‍රීතියෙන්
පසු වන බවක් ඇඟවූහ. “ඔබ හරිම වාසනාවන්තයෙක් හජූර්,” විශාල කේක් කැබැල්ලක් ගිල
දමමින් සිටි ඔහුගේ ඥාතිවරිය පැවසූවා ය. “මෙච්චර ලස්සන බිරිඳක්, අනෙක ඔබට නො
සෑහෙන්න ආදරේ කරන කෙනෙක් ලැබීම ඇත්තටම වාසනාවක්.” බැබළෙන මුහුණුවලින් යුතු වූ අනෙක් ඥාතිවරු හිස සලා එය අනුමත කළහ.
මංගලෝත්සවය අතරතුර මට ඉතා වේදනාකාරී උදරාබාධයක් ඇති
වූයෙන් මට නිරතුරු ව ම අංගනයෙන් පිටතට පැමිණීමට සිදු විය. මා කෑදර ලෙස භෝජන ගිල
දමා ඇතැ’ යි නානි මෙම්සහිබ්ගේ මව මට කවටකම් කළ නමුත් වැඩිපුර ආහාර ගත්තේ නැති බවත්
වෙන යම් හෝ දෙයක් හේතුවෙන් උදරාබාධය ඇති වූ බවත් මම ඇය හා පැවසූවෙමි.
සියල්ලන් ම පිටත් ව ගිය පසු මගේ හාම්පුතු හා නානි
මෙම්සහිබ් ඔවුන්ගේ නිදන කාමරයට පිවිසෙන දෙස මම ඇස් අයා බලා සිටියෙමි. ආලින්දයේ
වාඩි වී මැඩියන්ගේ බක බකයටත්, ඉඳහිට කොහේ හෝ ඈතකින් නාද වන වාහන නලා හඬටත්,
එකිනෙකාගේ නම් අඬ ගසමින් කෑ ගසන මිනිසුන්ගේ කටහඬටත්, රාත්‍රී යාමයේ නැගෙන නෙක
ශබ්දවලටත් සවන් දීමි. මේ නාදවලට සිත යොමු කරමින් මගේ හාම්පුතුගේ නිදන කාමරයෙන් එන
නො පැහැදිලි කටහඬවල් මගේ සවනත වැකීම අවහිර කිරීම සඳහා මම වෙර දැරුවෙමි. මගේ
උදරාබාධය සන්සිඳී තිබූ හෙයින් අසල්වාසීන්ගේ ශබ්දවලට සම්පූර්ණ අවධානය වඩා පහසුවෙන්
යොමු කළ හැකි විය. අන් කිසිවක් පිළිබඳ ව නො සිතීමට උත්සාහ කළ මා සැබැවින් ම භාවනා
කිරීමට වීරිය කරමින් සිටින බව නොබෝ වේලාවකින් මට පසක් විය. ප්‍රථම වතාවට, භාවනාව
මා වෙතට පැමිණියේ තම වයසට වඩා හරි අඩකින් ලාබාල වූ ද මා විශ්වාස කළ පරිදි මේ නිවසට
වේදනාව හා දුක්ඛ දෝමනස්සයන් රැගෙන එනු ඇති වූ ද ගැහැනියකගේ දෑතෙහි සිර වී සිටින
මගේ හාම්පුතුට කරනා සේවය විනා මගේ යැ’ යි පෙන්වීමට අන් කිසිවක් නොමැති ව වියපත් වී
සිටින මා පිළිබඳ ව ඇති වූ අතිමහත් ආත්මානුකම්පාව හේතුවෙන් විය හැකි ය.
විවාහයෙන් පසු නානි මෙම්සහිබ් මා අප්‍රිය කළ ‘රාමේ’ යන
සුරතල් නාමයෙන් මා අමතන්නට වූවා ය. රාම් මෝහන්ගේ අභිමානය ඒ තුළ නො වුණි. සුරතල්
නාමය හේතුවෙන් හැකිළෙන මගේ මුහුණ දුටු විට මගේ හාම්පුතුට සිනහ පහළ විය. “ඒ තමුසෙට
එයා ආදරේට කියන නමනෙ රාම් මෝහන්,” ඔහු පැවසුවේ ය. “ඒ නමින් එයා තමුසෙව එයාගෙම
කරගෙන.”
එදා රාත්‍රියේ දී “තමුසෙව එයාගෙම කරගෙන” යන වදන් මගේ
සිතේ රැව් පිළිරැව් දුනි. ඒවා අසාමාන්‍ය ලෙස හයියෙන් මිමිණූ මම ඉන් නැගුණු ශබ්ද
ස්වරයට ආශක්ත වීමි. නොබෝ වේලාවකින්, මගේ ඉඳුරන් පිබිදෙන බව මට පසක් විය. පුදුමාකාර
ලජ්ජාවකින් වෙලී ගිය මම වහා ම ඇඳෙන් නැගිට කාමරයෙන් එළියට පිවිසියෙමි. නගර මධ්‍යයේ
පිහිටා ඇති ඝන්ඨාගාර් ඔරලෝසු කුළුණේ මධ්‍යම රාත්‍රී දොළහේ කණිසම නාදය විය. පුර හඳ
අහසේ බැබළෙමින් තිබුණි. දෑත් පිටුපසට බැඳ ගත් මම සන්සුන් වීමට උත්සාහ කරමින් උද්‍යානය
පුරා සක්මන් කළෙමි. ඇති වූ කැලඹීමෙනුත් ඒ සමඟ ඇති වූ ලජ්ජාවෙනුත් මා සිටියේ වෙහෙසට
පත් ව ය.
සඳලුතලයේ දොර විවර වනු ඇසී ඉහළ බැලූ මට යට ගවුමකින් හා
තිසර පටකින් පමණක් සැරසී අත් වැටට හේත්තු වී සඳ දෙස බලා සිටින නානි මෙම්සහිබ්ගේ
දර්ශනය නෙත ගැටුණි. ඇගේ දිගු කේශ කලාපය උරහිස් වසා ගෙන පිට දිගේ විසිරී තිබුණි. ඈ
කෙරෙන් නෙත් ඉවතට ගැනීම මට කළ නො හැකි විය. සඳ වෙතින් නෙත් ඉවතට ගත් ඇය උද්‍යානයේ
සිටි මා දැක මොහොතකට ගල් ගැසුණු අතර විගසින් කාමරය තුළට ගියා ය.
පසු දා උදෑසන සුපුරුදු වේලාවට නානි මෙම්සහිබ්ගේ හා මාගේ
හාම්පුතුගේ නිදන කාමරයට මා තේ රැගෙන යන විටත් ඔවුහු නින්දේ පසු වූහ. ඇගේ බාහුව
ඔහුගේ පපුව මත වූ අතර යට ගවුමට යටින් වූ ඇගේ කලවය ඔහුගේ දෙපා මත රැඳී තිබුණි. තේ
බන්දේසිය පසෙකින් තැබූ මගේ දෙපා සෙමෙන් සැලෙන්නට වූ අතර මගේ දෙනෙත නානි
මෙම්සහිබ්ගේ කලවා මත ඇලී තිබුණි. දෙනෙත් විවර කළ මගේ හාම්පුතු, “තේ ගේන්න තාම උදේ
වැඩි නැද්ද රාම් මෝහන්?” යි විමසී ය.
“දැන් වෙලාව අටයි හජූර්,” මම පැවසුවෙමි.
නානි මෙම්සහිබ්ගේ කලවයට තට්ටු කළ මගේ හාම්පුතු, “නානි,
තේ,” යි පැවසුවේ ය.
ඈනුමක් ඇරි ඇය, “ඊයෙ රෑ මිදුලෙ හිටියෙ ඔයා ද රාමේ?” යි
විමසුවා ය.
මා පුදුමයට පත් වූ කලක මෙන් හිස දෙපසට වැනීමි.
“ඒ ඔයා නෙමෙයි ද?” මගේ මුහුණ දෙස වඩාත් සමීප ව බලමින් ඇය
විමසුවා ය.
“මම මුළු රෑම හිටියෙ ඇඳේ.”
“මට දිව්රන්න පුළුවන් ඒ ඔයාමයි කියල,” ඇය පැවසුවා ය.
“නැත්තම් ඔයා වගේ වෙන කෙනෙක්.”
“තමුසෙට නිවුන්නෙක් ඉන්නවද රාම් මෝහන්?” යි ඇසූ මගේ
හාම්පුතු මහ හඬින් සිනාසුණා ය.
ආයාසයෙන් මද සිනහවක් පෑ මම කාමරයෙන් ඉවතට ගියෙමි.
විවාහෝත්සවයෙන් සති කිහිපයකට පසු මගේ හාම්පුතුගේ සතිපතා
රැස්වීම් නැවත ඇරඹුනු අතර පෙර පරිදි ම නානි මෙම්සහිබ් වියපත් මිනිසුන් හා ඒවාට සහභාගී
වූවා ය. සුපුරුදු පරිදි, මගේ හාම්පුතු දීර්ඝ දේශනා පැවැත්වූ අතර අනෙක් අය ඊට බාධා
කෙළ් යමක් පැහැදිලි කරගැනීමට හෝ යම් කරුණක් පිළිබඳ කෙටියෙන් නිරීක්ෂණය කිරීම සඳහා
පමණි. විවාහ මංගල්‍යයෙන් දෙමසකට පමණ පසු ව පැවති එක් සැසියක් අතරතුර මා අමුත්තන්ට
තේ පැන් පිළිගන්වමින් සිටිය දී නානි මෙම්සහිබ් දේශනාවක් පවත්වමින් සිටි මගේ
හාම්පුතුට බාධා කළා ය. මගේ හාම්පුතු එවේලේ දේශනා කරමින් සිටියේ මනසේ ස්වභාවය
පිළිබඳ ව යි. අත්තෙන් අත්තට පනින වඳුරෙකු මෙන් අපගේ මනස එක් තැනකින් තවත් තැනකට ගමන්
කරන්නේ කෙසේ ද, යමෙකුට උසස් චිත්ත ස්වභාවයකට ළඟා වීමට අවැසි නම් මනස නම් වූ ඒ
වඳුරාව පාලනය කරන්නේ කෙසේ දැ යි යන කරුණු ඔහුගේ දේශනාවේ අඩංගු විය. මගේ හාම්පුතු
පැවසුවේ ඒ වඳුරාව කූඩුවකට ගාල් කළ විට සිතු සේ දිව යාමට ඌට නො හැකි වන බව යි. එවිට
මනස බ්‍රාහ්මනයෙකුගේ මෙන් නිසසල වනු ඇත.
“ඒත් අපි වඳුරව කූඩුවෙ හිර කරහම අපිත් ඒ කූඩුවට බැඳෙනව
නේද?” මලානික සිනහවක් පාමින් ඇය විමසුවා ය.
යමෙක් කුඩා දරුවෙකු හා සිනාසෙන්නේ යම් සේ ද මගේ හාම්පුතු
ද එලෙසින් ම සානුකම්පික ව ඉතා සෙනෙහෙබර සිනහවක් පෑවා ය. “ඔව්, අපිවත් කූඩුවට
බැඳෙනව තමයි. කූඩුවට බැඳී සිටිමින් ඌව පාලනය කිරීම තමයි මෙතන තියෙන උපක්‍රමය.”
“ඒත් ඒක කරන්න පුළුවන් දෙයක් ද?” ඇය පෙරළා විමසුවා ය.
“මට පේන හැටියට නම් වඳුරව කූඩු කරන එක හරියන්නෙ නෑ. වඳුරට කැමති විදියකට ඉන්න
දෙන්න ඔනි. අපි ඌට ඇලිල ඉන්නෙ ඇයි?”
රජයේ ඉහළ නිලයක් හෙබවූ උඩු රැවුල්කාර වියපත් මහත්මයෙක්,
“අපේ මතවාද ඉදිරිපත් කරන්න කලින් එතුමාගේ සම්පූර්ණ දේශනාව අහල ඉමු,” යි පැවසුවේ ය.
ඒ වන විටත් සිනහසී ගෙන ම සිටි මගේ හාම්පුතු, වියපත්
මහත්මයා විසින්, “කරුණාකරලා ඔබේ දේශනය ඉදිරියට කරගෙන යන්න,” යි පවසන තෙක් ම කෙටි
නිහැඬියාවක එල්බ සිටියේ ය.
සැසියේ ඉතිරි මුළු කාලය පුරාවට ම නානි මෙම්සහිබ් කිසිත්
නො පැවසුවා ය. ඇගේ නළලතේ ගැඹුරු රැල්ලක් ඇඳී තිබුණි. දේශනය අතරවාරයේ දී මගේ හාම්පුතු
ඇය දෙස කිහිප විටක් බැලූමුත් ඇය ඔහු දෙස නො බැලුවා ය; ඇගේ නෙත් සිය සැමියාට සවන්
දී සිටි මිනිසුන් අතර සැරිසැරුවා ය.
ඔවුන් පිටත් ව ගිය පසු දෙදෙනා රාත්‍රී ආහාරය සඳහා වාඩි
වූයේ කිසිදු විසංවාදයක් ඇති නො වූවාක් මෙනි. ඇය ඔහුට ආහාර බෙදීමේ නිරත වූ අතර ඒ
සෑම මොහොතක දී ම ඔහු ඇයට විනීත ව ස්තුති කළේ ය.
එදා සිට නානි මෙම්සහිබ් මගේ හාම්පුතුගේ සැසි අතරවාරයේ දී
නිරතුරු ව ඔහුට බාධා කළා ය. වරෙක ඇය සියල්ලන්ට ම ඇසෙන පරිදි “වල්පල්,” යනුවෙන් පවා
කෙඳිරුවා ය. තමා පවසමින් සිටියේ කුමක් ද යන්න අමතක වූ මගේ හාම්පුතුගේ දෑස් අඳුරු
වලාවකින් වැසී ගියේ ය. අනෙක් මිනිසුන් ඇය දෙස රවා බැලූ අතර එක් අමුත්තෙක් උගුරේ
රැල් බුරුල් කළේ ය. තවත් වරෙක ඇය ඉක්කා වැටෙන බවක් හඟවමින් සමච්චල් හිනාවක් නැගුවා
ය. දේශනය අතරමඟ නැවැත්වූ මගේ හාම්පුතු ඇය දෙස ඉමහත් ඔනෑකමින් බලා, “වතුර ටිකක්
බිව්ව නම් හරි නේද නානි?” යි පැවසුවා ය.
වසර ගණනාවක පොත්පත් පරිශීලනයෙන් හා ඒවා අවලෝකනය කරමින්
උද්ග්‍රහණය කරගත් මහා දැනුම් සම්භාරයෙන් ඔපවත් වූ ඔහුගේ තේජෝ බලය ඇය විසින්
අභියෝගයට ලක් කළ ආකාරය මගේ සිත් තැවුලට හේතු විය. ඇය සිය මතවාදයන් ඉදිරිපත් කළ
කර්කශ විලාසයත් ඒ වන විට ඇගේ නළලත මත නො මැකෙන සේ ඇඳී තිබුණු රැල්ලත් මම අවඥාවෙන්
හෙළා දුටුවෙමි. එහෙත් රෑ මැදියමේ දී මා ඇඳේ වැතිරී සිටිය දී මනස සන්සුන් ව මගේ ම
ආශ්වාස ප්‍රාශ්වාස හඩ ඇසෙන්නට ගත් විට උගත් පිරිමි කණ්ඩායමක් අතරේ මගේ හාම්පුතුගේ
උසස් මනසට නැගෙන සිතුවිලි මිලට නො ගන්නා ලාබාල කාන්තාවක් සිටීම අනුචිත බව මට
පෙනෙන්නට විය. අසාමාන්‍ය බවක් ඉසිලූවත්, අමුත්තන් පිට ව ගිය පසු, නානි මෙම්සහිබ්
හා මගේ හාම්පුතු කිසිවක් සිදු නො වූවාක් මෙන් විහිළු තහළු කරමින් සිනහසෙමින්
හෝටලයේ තතු ආදිය පිළිබඳ ව කතා කළහ. සැසිවලින් පිටත දී එවැනි විවාද වලින් ඔවුන්ව
වළක්වාලූ යම් නො ලියවුණු රීතියක් තිබුණාක් මෙන් ඔවුහු කිසි දා ආධ්‍යාත්මික කරුණු
සාකච්ඡා නො කළහ. දැන් මට සිතෙන්නේ සිත් අමනාපකම් හා සසල වීම් යම් තාක් දුරකට
නිරවුල් වන ඔවුන්ගේ නිදන කාමරය තුළ දී ඔවුහු පුද්ගලික ව සිය විසංවාදයන් පිළිබඳ
කතිකා කරන්නට ඇති බව යි.
වැඩි කල් යන්නට මත්තෙන්, නානි මෙම්සහිබ් නිවසේ හා හෝටලයේ
කරුණු පිළිබඳ මගේ හාම්පුතුගේ මතය විමසන්නට වූවා ය. අප දිනක් මුළුතැන්ගෙයි සිටින
අතරවාරයේ දී, ඔවුහු, වසර කීපයකට ඉහත දී මගේ හාම්පුතු විසින් බඳවා ගනු ලැබූ හෝටලයේ
අවන්හල් කළමනාකාරිණියගේ දුර්වල කාර්ය සාධනය පිළිබඳ ව සාකච්ඡා කරමින් සිටියහ. මගේ
හාම්පුතු පවසමින් සිටියේ උනන්දුවෙන් කාර්ය කිරීම හා ක්‍රියාශූරත්වය පිළිබඳ නම් දරා
සිටි සහකාර කළමනාකාරවරයා ඇතුළු අවන්හල් කාර්යමණ්ඩලය කෙරෙහි එදිරිවාදීකම් දක්වන
බැවින් ඇය ව රෙදි සෝදන කාමරයට මාරු කිරීම තම අදහස බව යි.
“ඒක මහ විහිළුවක්නෙ,” නානි මෙම්සහිබ් පැවසුවේ රළු
ස්වරයෙනි.
මගේ හාම්පුතු මොහොතකට නිහඬ වූවේ ය. අවිනිශ්චිතභාවයෙන්
වෙලුණු සිනහවක් මුව රඳවා ගත් ඔහු අනතුරු ව මෙසේ පැවසීය. “නානි, ස්ටාෆ් එක මට දැන්
මාස ගාණක් තිස්සෙ පැමිණිලි කරනව. මොනවම හරි කරන්න ඔනි.”
“එයාගෙ විදියෙයි එයා ඉන්න තැනෙයි කිසිම ප්‍රශ්නයක් නෑ.”
ඇය පැවසුවා ය.
“ඇයි ඔයා එහෙම කියන්නෙ?”
“මොකද දන්නවද?” තේ උගුරක් පානය කළ නානි මෙම්සහිබ්
ජනේලයෙන් පිටත බැලුවා ය. “ඔයා හිතන්නෙ එතන වෙන දේවල් මං දන්නෙ නෑ කියලද? උන් එයාට
කැමති නැත්තෙ එයා ගෑනියෙක් වෙච්ච නිසයි එයාලට අණ දෙන නිසයි.”
“එහෙම දෙයක් නෑ නානි. එයා ඒගොල්ලන්ගෙ මානසික තත්වයට
අයුතු විදියට බලපෑම් කරනවා. ඇසිස්ටන් මැනේජර් මට කිව්වා දවසක් වෙච්ච පොඩි
වැරැද්දක් නිසා අරයා එයාට වතුර ගැහුවා කියල.”
“එයා වතුර ගැහුවෙ දකුණු කාමරේ මේස ටික ආපහු පිළිවෙලට
හදන්න කියල කිව්වම ඌ ඒකට හිනා වෙච්චි නිසා.” ඇය ප්‍රතිචාර දැක්වූවා ය.
“ඒත්,” සිය උගුරේ යමක් සිර වී ඇත්තාක් මෙන් මගේ හාම්පුතු
කතා කළේ ඉතා ප්‍රවේශමෙනි. “චෙෆ් මට කිව්ව අගේට හදපු කුකුල් මස් ටිකක් එයා කුණු කූඩෙට
දැම්ම කියල.”
“එයා ඒවා කුණු කූඩෙට දැම්මෙ ඒවා කුණු රහ හින්දා.” මා
දෙසට ඇඟිල්ල දිගු කළ ඇය, “ඒ චෙෆ්ට වඩා හොඳට අපේ රාමෙත් උයනවා,” යි පැවසුවා ය.
අපහාසයට ලක් නො වූ බව පෙන්වීමට මම දැඩි උත්සාහයක්
ගත්තෙමි.
මා දෙස බැලූ මගේ හාම්පුතු සිය අතැඟිලි දෙසට නෙත යොමු කළේ
ය.
එදින රාත්‍රියේ දී මම, මේ නිවස පෙර තිබූ පරිද්දෙන් නැවත
සියල්ල හොඳ අතට පත් කරන ලෙස, බිත්තියේ එල්ලා ඇති රාමු කරන ලද කුඩා පින්තූරයේ වැඩ
සිටින ගනේෂ් දෙවියන්ට යාඥා කළෙමි. එහෙත් එය සිදු නො වන්නක් බව ඇසිපිය වසා ගෙන දොහොත්
බැඳ ගෙන යාඥා කරද්දී පවා මම දැන සිටියෙමි. සැබැවින් ම, ඒ මොහොතේ දී මා ඉදිරියේ
යමක් දිස් විය. නානි මෙම්සහිබ් තමන් සමඟ සිටි තරුණයෙකු හා සිනහසෙමින් සිටිනු
පියවුණු දෑසින් මම දුටුවෙමි. ප්‍රථමයෙන් ම මට ඒ තරුණයාව හඳුනා ගත නො හැකි විය. ඉන්
පසු ටිකෙන් ටික, තාරුණ්‍යයෙන් පිරි ඒ සුකුමාර මුහුණ මගේ බව මම වටහා ගතිමි. වහා
දෙනෙත් විවර කළ මගේ හදවත වේගයෙන් ගැහෙමින් තිබුණු අතර පින්තූරයේ වැඩ සිටි ගනේෂ
දෙවියන් දෙස බලා සිටි මා දුටුවේ එතුමා සිය දිගු හොඬවැලෙන් හා මුවකුගේ මෙන් නෙත්
සඟලින් මට සරදම් කරමින් සිටින අයුරු යි.
ගංගාවල සැරිසරන මාළුන් ද ගල් වන බව කියන මීන් පචස්[4]
ශීත මාසයේ එක් සෙනසුරාදාවක හිමිදිරියේ මම උද්‍යානයේ වතුර බටයෙන් ස්නානය කරමින්
සිටියෙමි. ශීතල වතුර හා පොළොවෙන් නැගුණු සුවඳ ප්‍රාණවත් අහස්තලයේ නැගෙන අකුණු සැර
බඳු හැඟීමක් මා තුළ ජනිත කරවීය. සාමාන්‍යයෙන් මේ කාල වේලාව මා තනි ව ගත කරන බැවින්
එතැනට නානි මෙම්සහිබ් පැමිණීම අනපේක්ෂිත සිදු වීමක් වූ අතර මට එයින් තරමක
අපහසුතාවක් ද දැනුණි. වතුර බටය පඳුරු අස්සේ සැඟ වී තිබූ හෙයින් ඇයට මා දැක ගත නො
හැකි විය. මා සෙමෙන් කරාමය වසා දැමුවෙමි. පඳුරු අතර වූ විවරයකින් මා දුටුවේ ඇය සිය
පපුව හරහා තදින් දෑත් බැඳ ගෙන හඬා වැටෙන අයුරු යි. ඇය විටින් විට අහස දෙස බැලුවේ
දෙව් ලොවින් යම් පිළිතුරක් ලැබෙනු ඇතැ’ යි අපේක්ෂා කරන්නාක් මෙනි. මෝහනයට පත් වූ
මම ඈ දෙස දෑස් දල්වා බලා සිටියෙමි. ඇය ටික වේලාවක් උද්‍යානයේ පිය මැන කඳුළු පිස දා
නිවස තුළට ගියා ය.
ඇඟට ම ඇලී තිබූ දෝතිය පමණක් හැඳ සිටි මම දැඩි සේ
වෙව්ලමින් සිටිමුත් ශීතල නො තකා බොහෝ වේලාවක් වතුර බටය අසල සිට ගෙන සිටියෙමි.
වියපත් පිරිමින් අතර කිහිප දෙනෙක් සන්ධ්‍යා සැසිවලට
පැමිණීම නවතා දැමූහ. එක් අයෙක්, සිය අවසාන සැසිය නිම වූ පසු මට මෙසේ පැවසී ය.
“රාම් මෝහන්, මේ ගෙදර තව දුරටත් කලින් තිබුණු ගෙදර නෙවෙයි.”
වතුර වීදුරුවක් ලබා ගැනීම සඳහා ඔහු මුළුතැන්ගෙයට පැමිණ
තිබුණේ සඳළුතලය මත නිරන්තරයෙන් රැඳුණු, ජලය පිරි වීදුරු ගුරුලේත්තුවක් තිබිය දී ය.
සිය සාක්කුවෙන් පෙති වගයක් ගෙන ඒවා ගිල දැමූ ඔහු කවුළුව වෙතට බර වී සුසුමක් හෙළුවේ
ය. “ගෑනියෙකුට කරන්න පුළුවන් දේ නම් පුදුමාකාරයි.”
මම මගේ මතයට හඬ නො දුන්නෙමි.
“හොඳයි, මේකයි වුණේ. මං තීරණයක් ගත්තා.” පඩි පෙළ බැස ගිය
ඔහු නිවසින් පිට වූවේ ය.
ක්‍රම ක්‍රමයෙන් අනෙක් අය ද පැමිණීම නැවැත්වූහ. සහභාගී
වන පිරිස ඉක්මණින් ම හතර දෙනෙකු දක්වා අඩු වූ අතර පසු ව එය දෙදෙනෙකු බවට පත් විය.
එක් සන්ධ්‍යාවක නානි මෙම්සහිබ් හා උඩු රැවුල්කාර ඉහළ
රාජ්‍ය නිලධාරියා අතර උණුසුම් තර්ක කරගැනීමක් ඇති විය. සුපුරුදු පරිදි ඇය මගේ
හාම්පුතුට බාධා කර තිබුණි. “නෑ. මං හිතන්නෙ නෑ ඔයා කොතැනකදිවත් සත්‍යය සොයා ගන්න
මාර්ගයක් පෙන්නනව කියල. ඔය කුෂන් එක උඩ වාඩි වෙලා ආශාව නිසා අපිව මුලා වෙන හැටි
ගැන බණ කියන්න ඔයාට හරිම ලේසියි. ඒත් ඇත්තම කතාව මං වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ඔනි
අපේ ආශාවන් සපුරගන්නෙ කොහොමද කියල ඉගෙනගන්න මිසක් ඒවට කුඩම්මගෙ සැලකිලි දක්වන්න
නෙවෙයි. අපිට...”
“කට පියාගන්නව!” උඩු රැවුල්කාරයා මොර දුන්නේ ය.
දැඩි නිහැඬියාවක් පැතිරුණි.
කිසිදු ගරු සරුවක් නැති ව ඔහු දෙස බැලූ නානි මෙම්සහිබ්,
“මං මොකටද කට පියාගන්නෙ?” යි විමසුවා ය.
ඔහුගේ කටහඬ කෝපයෙන් වෙව්ලමින් තිබුණි. “තමුන් දන්න දෙයක්
නැති හින්ද.”
“එතකොට තමුන් දන්නවද?”
“නානි,” මගේ හාම්පුතු හඬ අවදි කළේ ය.
“තමුන් දන්නවට වඩා ගොඩක් දේවල් මං දන්නව,” පිරිමියා
පැවසුවේ ය.
“මට නම් තාම එහෙම දෙයක් පේන්නෙ නෑ.”
බුබ්බුලාකාර නාසයක් තිබූ කුඩා සිරුරැති අනෙකු පිරිමියා,
“මොකක්ද මේ? මේ විදියට හැසිරෙන්න තමුන්ට ලැජ්ජ නැද්ද?” යි නානි මෙම්සහිබ්ගෙන්
විමසුවේ ය.
“අල්ලල දාන්න,” මගේ හාම්පුතු කීවේ ය.
“එයා ගෑනියෙක්,” කුඩා සිරුරැති මිනිසා පැවසුවේ ය. “තමුන්
ඉන්න ඔනි කොතැනද කියල එයා දන්නෑ.” මගේ හාම්පුතු දෙසට හැරුණු ඔහු මෙසේ ද පැවසීය.
“සමා වෙන්න කෛලාශ්-ජී, මං කැමති නෑ රණ්ඩු කරන්න. ඒත් තවත් මේක ඉවසන්න බෑ.”
“බහිනව එළියට,” නානි මෙම්සහිබ් පැවසුවා ය.
පිරිමින් දෙදෙනා ම ඇය දෙස බලා සිටි අතර, “හැමෝම සංසුන්
වෙන්න. මේක පොඩි දෙයක්නෙ,” යි මගේ හාම්පුතු පැවසුවේ ය.
“මගෙ ගෙදරින් එළියට බැහැපන්,” පිරිමින් දෙදෙනාට පැවසූ
නානි මෙම්සහිබ් නැගී සිටියා ය. “මේ දැන්ම. විගහට. මගේ ගෙට ඇවිත් මාව හරි තැන
තියන්නනෙ තමුසෙලාට ඔනි උනේ. ගෙවල්වලට ගිහිල්ල තමුසෙලගෙ අම්මලවයි ගෑනුන්වයි හරි තැන
තියාගන්නවල.” තමන් කුමක් කරන්නේ දැ’ යි කිසිවෙකුටත් සිතා ගැනීමට ඉඩක් නො තැබූ ඇය
දොරටුව අසල තිබූ මගේ සෙරෙප්පුවක් අතට ගෙන පිරිමින් දෙදෙනාට පහර දෙන්නට වූවා ය.
“නානි!” මගේ හාම්පුතු මොර දුන්නේ ය. දිගු කාලයකට පසු ඔහු
සිය කටහඬ අවදි කළ ප්‍රථම වතාව එය විය.
එහෙත් නානි මෙම්සහිබ් මගේ සෙරෙප්පුවෙන් (මගේ
සෙරෙප්පුවෙන්!) පිරිමින් දෙදෙනාට දිගට ම පහර දුන් අතර කෝපයෙන් නැගී සිටි ඔවුහු වහ
වහා සිය පාවහන් පැළඳ ගත්හ. රතු වුණු මුහුණින් යුතු ව පසෙකට ගොස් ඔවුන් දෙස බලා
සිටි ඇගේ නළල මතට ඝන කෙස් රොදක් වැටී තිබුණි. මගේ හාම්පුතු පිරිමින් දෙදෙනා වෙත
ගොස් ඔවුන්ගේ දෑතින් අල්ලා ගැනීමට තැත් කළමුත් ඔවුහු ඔහුගේ අත ගසා දැමූහ. “අපි
මෙහාට ආවෙ මේ වගේ අවනම්බු විඳින්න නෙවෙයි,” ඔවුහු පැවසූහ. “කෛලාශ්-ජී,
තමුන්නාන්සෙගෙ ගෑනිව ආම්බාන් කරගත්තොත් හොඳයි. නැත්තම් එයා ඔබව විනාස කරල දායි.”
රත් පැහැ මුහුණුවලින් යුතු වූ ඔවුහු දෙස් තබමින් පිට වී
ගියහ.
මගේ හාම්පුතු ඇයට පහර දුන්නේ ය. ඔහුගෙන් දැඩි පහරක්
වැදුණු ඇය පියවර දෙකක් පසු පසට විසි වුණි.
සිය කම්මුල අල්ලා ගත් ඇය, “කමක් නැහැ,” යි පැවසුවා ය.
ඔහු වහා ම ඇයගෙන සමාව අයැද සිටිමුත්, නැවත නැවතත් “කමක්
නැහැ,” යි පැවසූ නානි මෙම්සහිබ් ඔවුන්ගේ නිදන කාමරය තුළට ගියා ය. දොර අගුලු වැටෙන
ශබ්දය අපට ඇසුණි.
දුර්වල ස්වරූපයක් ඉසිලූ මගේ හාම්පුතු වාඩි වූවේ ය. මා
ඔහුට වත් කර දුන් වතුර වීදුරුව ඔහු එක හුස්මට පානය කළේ ය. අනතුරු ව ඉකි බිඳින්නට
පටන් ගත්‌ෙත් ය. කුමක් කළ යුතු දැ’ යි මා දැන සිටියේ නැත.
මුළුතැන්ගෙය වෙත ගිය මම පිඟන් සෝදා ඉවර කළෙමි. මා මගේ
කාමරය වෙත යමින් සිටිය දී ඔවුන්ගේ කාමරයෙන් නැගුණු කෙඳිරිලි හඬ මට ඇසුණි. “මගේ
නාකි පප්පා,” සහ “නානු,” යනුවෙන් කොඳුරනු ඇසුණු වචන හේතුවෙන් ඔවුන්ගේ ආරවුල නිසැක
ව ම සංසිඳී ඇතැ යි විනිශ්චය කරමින් මම ඔවුන්ගේ දොර අසල රැඳී සිටියෙමි.
දින කිහිපයකට පසු ඔවුනතර තවත් වාදයක් ඇති වූ අතර මගේ
හාම්පුතුට හෘදයාබාධයක් ඇති වුණි. මා රාත්‍රී ආහාරය පිළිගන්වන තුරු ඔවුහු කෑම මේසයට
වාඩි වී සිටියහ. නානි මෙම්සහිබ් පැවසූවේ කුමක් දැ’ යි මට දැන් මතක නැතිමුත්, මගේ
හාම්පුතු ඉතා තියුණු පීඩිත ස්වරයකින් ඊට ප්‍රතිචාර දැක්වූ බව මට මතක ය. “ඔව් ඔව්,
මට මොනවා හිතුණත් කමක් නෑ, මට මොනව දැනුනත් කමක් නෑ.” රත් පැහැ ගැන් වී තිබූ ඔහුගේ
මුහුණ ක්‍රමයෙන් සුදුමැලි වූ අතර ඔහු සිය පපුව පිරිමදිමින් කෙඳිරි ගාන්නට වූවේ ය.
මා කඩල දීසියක් අතැති ව සිටි හෙයින් මට කළ හැකි වූයේ පුටුව පැත්තකට ඇල වී ඔහු බිමට
වැටෙන දෙස බලා සිටීම පමණි. ඔහුගේ නම කියමින් කෑ ගැසූ නානි මෙම්සහිබ් කලබලයෙන් ඔහු
වෙතට පැමිණියා ය.
“අපි එතුමව ඉස්පිරිතාලෙ එක්ක යමු,” පැවසූ මම මගේ
හාම්පුතුගේ සුපුරුදු රියදුරා ඒ වන විට ගෙදර ගොස් සිටි බැවින් රිය පැදවීමට දන්නා ක්‍රිෂ්ණා
සොයා අසල්වැසි නිවසට දිව ගියෙමි.
මෝටර් රථය තුළ දී නානි මෙම්සහිබ් මගේ හාම්පුතුගේ හිස සිය
උකුලේ රඳවා ගෙන සිටියා ය. ඔහුගේ දෙනෙත් පියවී තිබුණි. “මාව දාල යන්න එපා,” ඇය
පැවසූ අතර අප රෝහලට ළඟා වන තුරු ම සිය හිස ඔහුගේ සුදුමැලි මුහුණට ඉහළින් දෙපසට
වනමින් එම වචන පුනරුච්චාරණය කළා ය.
මගේ හාම්පුතුට ඇති ව තිබුණේ සුළු හෘදයාබාධයක් බව
අනාවාරණය වූ අතර දින කිහිපයක් රෝහලේ ගත කිරීමෙන් පසු, ඔහුව රැක බලා ගැනීම පිළිබඳ
සවිස්තරාත්මක උපදෙස් රාශියක් නානි මෙම්සහිබ්ට ලබා දීමෙන් පසු වෛද්‍යවරු ඔහුට
රෝහලෙන් පිට වීමට අවසර දුන්හ. දින කිහිපයක් යන තුරු ඇය ඔහු අසල ම රැඳී සිටියා ය.
“මම ආයෙත් යෝගා කරන්න පටන් ගන්නවා, ඉක්මණටම,” ඔහු ඇය සමඟ
පැවසුවේ ය. “බය වෙන්න දෙයක් නැහැ.” ඔහුගේ බර සෑහෙන ප්‍රමාණයකින් අඩු වී තිබුණි; හකු
පාඩා පෑදී තිබූ අතර දෑසේ දීප්තිය ගිලිහී අවිනිශ්චිත බවක් අරක් ගෙන තිබුණි.
“ඔයාට හොඳ වෙනකම් යෝගා කරන්න බෑ.”
“ඒත් යෝගාවලින් පුළුවන්...”
“කියන දේ අහන්න,” ඇය පැවසුවා ය. පසු ගිය දින කිහිපයේ ඇය
හඬමින් කාලය ගත කර තිබූ බව ඇගේ පෙනුමින් මනා ව පිළිඹිබු විය.
බෙලහීන සිනහවක් පෑ ඔහු, “කියන දේ අහන්න,” යි
පුනරුච්චාරණය කළේ ය.
සති කිහිපයක් යන තුරු ඔවුනතර වාදයක් ඇති නො වූ නමුත් මගේ
හාම්පුතුගේ ශරීරය එය සමඟ ම වූ වාදයක පැටලී තිබුණි. ඔහුගේ පනස් දෙවන උපන්දිනය
එළඹෙමින් තිබූ නමුත් මුහුණේ මතු ව තිබූ නව රේඛාත් අවිධිමත් වූත් කර්කශ වූත් ආශ්වාස
ප්‍රශ්වාස රටාවත් හේතුවෙන් ඔහු දිස් වූයේ සැට හැවිරිදි මහල්ලෙකු පරිද්දෙනි. හුස්ම
ගැනීමේ අපහසුතාව හේතුවෙන් ඔහුව දෙවරක් රෝහල වෙත ගෙන ගොස් තිබුණි. ඔහු ආපසු පැමිණි
සෑම වතාවක දී ම තත්වය වඩාත් නරක අතට හැරී තිබුණු බව දිස් වුණි.
“ඩොක්ට මට කිව්ව එයාව සැහැල්ලුවෙන් තියන්න කියල,” නානි
මෙම්සහිබ් පැවසූ අතර, මා ඇය දෙස පුදුමයෙන් බැලූ බව වටහා ගත් ඇය වරදකාරී බවක්
මුහුණට නගා ගනිමින්, “අපි එයාගෙ හිත රිදෙන මොකුත් කරන්න නරකයි,” යනුවෙන් පැවසුවා
ය. මා කිසිවක් සිදු නො කළ බව මම කල්පනා කෙරුවෙමි.
ඒ සති කිහිපය පුරාවට නානි මෙම්සහිබ් ඔහු සමඟ ඔවුන්ගේ
නිදන කාමරයේ රැඳී සිටියා ය. ඔහුට නාන කාමරයට යෑමට පවා අපහසු වූ නමුත් සිය
අධීක්ෂණයෙන් තොර ව හෝටලය කඩා වැටෙනු ඇති බව සිතමින් ඔහු කණගාටුවට පත් වීම එමගින්
නැවතුණේ නැත.
“හෝටලය යකාට ගියදෙන්,” නානි මෙම්සහිබ් පැවසුවා ය. “ඔයාගෙ
සෞඛ්‍ය තත්වය ඊට වඩා වැදගත්.”
මගේ හාම්පුතුගේ සුව දුක් විමසීම සඳහා පැමිණි ඔහුගේ
මිතුරන් කිහිප දෙනා නානි මෙම්සහිබ් සමඟ කතා නො කළහ. ඇය දෙස බලා අගරු ලෙස හිස වැනූ
උඩු රැවුල්කාර මහත්මයා මගේ හාම්පුතු සමඟ සිනහසුණේ ය. “කෛලාශ්-ජී, අපි කැමතියි ඔබ
සැපෙන් සනීපෙන් ඉන්නව බලන්න,” ඔහු පැවසූ අතර තමන් සැප සනීපෙන් සිටිනා බවත් මෙය සිය
අධිෂ්ඨාන ශක්තිය අභියෝගයට ලක් කිරීම සඳහා වූ විශ්වීය පරීක්ෂණයක් පමණක් බවත් මගේ
හාම්පුතුගේ ප්‍රතිචාරය විය. ඔවුහු හින්දු ආගමික ස්වාමිවරුන් පිළිබඳ හරාත්මක විහිළු
තහළු කිහිපයක් හුවමාරු කරගත්හ.
ලොකු නහයක් තිබූ කුඩා සිරුරැති පුරුෂයා ඊළඟ දවසේ පැමිණි
අතර නානි මෙම්සහිබ් ඔහුව මගේ හාම්පුතුගේ සයනය අසලට කැඳවා ගෙන යන විට ඔහු ඇය දෙස නො
බැලුවා ය. හෘදයාබාධයක් ඇති වූ ඔහුගේ මිතුරෙකුට සුවය ළඟා කර දුන් යම් ආයුර්වේද ප්‍රතිකර්ම
කිහිපයක් පිළිබඳ ව ඔහු දීර්ඝ වශයෙන් විස්තර කළේ ය.
එහෙත් කාලයත් සමඟ මගේ හාම්පුතුගේ සෞඛ්‍ය තත්වය වර්ධනය නො
වූ අතර හිත් පිත් නැති තැනැත්තියක බවට පත් වූ නානි මෙම්සහිබ් අතින් නිරතුරුව ම
පාහේ අමතක වීම් හා අතපසු වීම් සිදු වන්නට විය. වරක් වෙළඳ පොළට ගිය ඇය හිස් අතින්
ආපසු පැමිණියා ය. “මට අමතක වුණා,” ඇය පැවසුවා ය. “මම මතක් කරල බැලුවා, ඒත් මං
මොනවද ගන්න ගියේ කියල මතකෙට ආවෙ නෑ.”
මම ඇයට වතුර වීදුරුවක් දුනිමි.
“මගේ සිතුවිලි නතර වෙලා වගේ රාමේ, හරියට නිකන් කවුරුහරි
හිර කරන් ඉන්නව වගේ.” මා කිසිවක් කියන්නට සැරසෙද්දී ම, හඬන්නට ඔන්න මෙන්න සිටි ඇය
මා ඉදිරිපිට දී හැඬුම් ඒමට පෙර පිට ව ගියා ය.
ඒ වන විට බලහත්කාරයෙන් මෙන් ඇය විසින් සිදු කළ මගේ
හාම්පුතු වෙනුවෙන් අහර පිසීම්වල දී ඇයට ගෑස් ලිප නිවීමට අමතක වන අතර පැයක් පමණ ගත
වන විට මුළු නිවස ම කුණු බිත්තර ගඳින් පිරී යන්නට විය. දහවල් කාලයේ දී ඇය විසිත්ත
කාමරයට වී සිටි අතර මා ඇයට තේ රැගෙන එන විට තමන්ට කිසිවෙකු පහර දුන් කලක මෙන් ඈ
කවිච්චියේ වාඩි සිය අත්ල මත හිස රඳවා ගෙන සිටිනු මට දැක ගත හැකි විය. “නානි, තේ,”
යි මා පැවසූ විට ඇය සිය වියළි උදාසීන දෙනෙත් එදෙසට යොමු කෙරුවා ය.
අවසානයේ දී, නානි මෙම්සහිබ් සිය මවෙගන් අප සමඟ ජීවත්
වීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියා ය. මේ නිවස තුළට නානි මෙම්සහිබ්ව රැගෙන ඒම පිළිබඳ
ව ඇගේ මවට මා තුළ යම් චෝදනාවක් වූ බැවින් ඒ අදහසට මගේ කැමැත්තක් නො තිබුණි. එහෙත්
මගේ හාම්පුතුව රැක බලා ගැනීමෙන් නානි මෙම්සහිබ් වෙහෙසට පත් ව සිටි බැව් පැහැදිලි ව
පෙනෙන්නට තිබූ බැවින් ඇගේ මවව ගෙන්වා ගැනීමේ අදහස මම ඉවසා දරා ගත්තෙමි.
නානි මෙම්සහිබ්ගේ මව මගේ හාම්පුතුට අනර්ඝ සාත්තු
සේවිකාවක් වූ අතර ඔහු ව සෑම සතියක ම වෛද්‍යවරයා හමුවට ද කැඳවා ගෙන යනු ලැබී ය. ඇය
ප්‍රියමනාප තැනැත්තියක බව මා හට වැටහී ගිය හෙයින් මුළුතැන්ගෙය තුළ දී ඇගෙන් ලැබෙන
සහාය මට ගැටළුවක් නො වීය. ඇය අප සමඟ ජීවත් වීමට පැමිණි පසු නානි මෙම්සහිබ් මගේ
හාම්පුතු සමඟ අඩු කාල වේලාවක් ගත කිරීමට පටන් ගත්තා ය. ඇය මුළු දවසමත්, ඇතැම්විට
මැදියම් රෑ ළඟා වන තුරුත් හෝටලයේ ගත කළා ය. එතරම් දැඩි අධීක්ෂණයක් හෝටලයට අවශ්‍ය
යැ’ යි මා හට විශ්වාස කළ නො හැකි වුවත් අවසානයේ දී ඇගේ මුහුණට නැවතත් එළිය වැටුණු අතර නිරතුරුව ම සිනහ මුවින්
යුතු ව සිටීමට පටන් ගත්තා ය. සෑම උදෑසනක ම නිවසින් පිටවීමට ඇය මාන බලමින් සිටි බව
ද හොඳින් ම පෙනෙන්නට තිබුණි.
මා තිගැස්මට පත් කළ කරුණ නම් මගේ හාම්පුතු සෞඛ්‍ය
සම්පන්න, ශක්තිමත් මිනිසෙකු ව සිට නිරන්තරයෙන් කහින, හතියෙන් පෙළෙන, දොඩවන
මහල්ලෙකු බවට පත් වූ ආකාරය යි. යෝගා හා භාවනා කරමින් ගත වූ ඒ වසර ගණනාවත්
උසස්-මනසකින් සිදු කළ දේශනාත් පිළිබඳ ඔහු දොඩවන්නට වූවේ ය. ඇතැම්විට, නානි
මෙම්සහිබ් නිවැරදි ඇතැ’ යි මම පිළිගත්තෙමි. අප වඳුරාව කූඩු කිරීම පිළිබඳ කරදර වීම
අවශ්‍ය වන්නේ නැතුවා වන්නට ඇත; සමහර විට අප වඳුරාව අමතක කර දමා, ඉහළ මානසික
මට්ටමකට ළඟා වීම පිළිබඳ ව නිරන්තරයෙන් සිත සිතා සිටිනවා වෙනුවට සාමාන්‍ය මනුෂ්‍ය
ප්‍රාණීන් මෙන් දිවි ගෙවිය යුතු වනවා වන්නට ඇත. එහෙත්, නානි මෙම්සහිබ් අප අතරට නො
පැමිණියා නම් තත්වය කුමක් වනු ඇත්දැ’ යි මා මවා ගැනීමට උත්සාහ කළ විට මට දැක ගත
හැකි වූයේ මගේ හාම්පුතු තවමත් සිය ආදරණීය ඥාතීන් පිරිවරාගෙන ආධ්‍යාත්මික සැසි
පවත්වන ආකාරයත් සෑම රාත්‍රියක දී ම මා ඔහුගේ දෙපතුල් සම්බාහනය කරමින් සිටින
ආකාරයත් ය. අතීතයේ මේ නිවසේ වූ සතුට පිළිබඳ ව සිතීමෙන් මට ඉමහත් කම්පාවක් දැනුණු
අතර නානි මෙම්සහිබ් පිළිබඳ විවේචනාත්මක සිතුවිලි පහළ වීම නවතා ගත නො හැකි විය.
තම බිරිඳ නො ව ඇගේ මව තමා අසල දිවා රෑ නො බලා රැඳී
සිටිමින් තමන්ට සාත්තු කිරීම මගේ හාම්පුතුට සහනයක් වූ බව පෙනෙන්නට තිබුණි. යම්
සන්තාපයක් හෝ ඔහු දැක්වූයේ කලාතුරකින් පමණි. එක් රාත්‍රියක දී නානි මෙම්සහිබ්ගේ මව
ඔහුට හැන්දකින් සුප් පෙවීමට උත්සාහ කරමින් සිටින විට ඔහු එය බීම උදක් ම ප්‍රතික්ෂේප
කළේ ය. “එන්න කෛලාශ්-ජී,” ඇය ඔහුට එය පෙවීමට උත්සාහ කළා ය. “මේක බිව්වම ඔබට හොඳට
නින්ද යයි.”
එහෙත් ඔහු සිය දෑත හරස් කරමින් ළදරුවෙකු මෙන් දෙතොල් තද
කරගෙන සිටියේ ය.
“මොකද්ද ප්‍රශ්නෙ?” ඇය විමසුවා ය.
දොරකඩ සිට ගෙන සිටි මම ද ඒ දෙස ශෝකයෙන් බලා සිටියෙමි.
මදෙස බැලූ මගේ හාම්පුතු, “එයා කෝ?” යි විමසුවේ ය.
“හෝටලේ හජූර්.”
“මෙච්චර රෑ වෙනකල්?” වේදනාවෙන් හැකිළුණු ඔහු හිස දෙපසට
වැනුවේ ය.
නානි මෙම්සහිබ්ගේ මව හැන්ද ඔහුගේ මුව අසලට කළා ය.
“බොන්න.”
“මට බොන්නෙ නානිගෙ අතින් විතරයි,” ඔහු පැවසුවේ ය.
“ඒත් එයා දැන් ගෙදර නෑනෙ.”
“කමක් නෑ,” ඔහු පැවසුවේ ය. “මට එයාව ඔනි.”
සුප් එක් පොවා ගැනීම සඳහා අපට පැය බාගයක් පමණ ඔහුට
පෙරැත්ත කිරීමට සිදු විය.
නානි මෙම්සහිබ් මගේ හාම්පුතු මෙන් වියපත් වූ ධනවත්
පිරිමින් සමඟ හෝටලය තුළ හා නගරයේ තැන් තැන්වල කාලය ගත කරන බවට කටකතා පැතිරෙන්නට
විය. දිනක් නිවසට පැමිණි ඔහුගේ ඥාති සොයුරිය මුළුතැන්ගෙයි සිටි මගේ කනට කොඳුරා
මෙසේ කීවා ය. “ඒකි හරියට ගණිකාවක් වගේ හැසිරෙන්නෙ රාම් මෝහන්. මෙයාට තිබුණෙ ඔය වගේ
ගෑනියෙක්ව කර ගහගන්නෙ නැතුව ඉන්න.”
එදින සන්ධ්‍යාවේ නානි මෙම්සහිබ් ජැන්ඩියට හැඳ පැළඳ ගත්,
පැසුණු හිසකෙසින් යුතු පිරිමියෙකුව නිවසට රැගෙන එන තුරු ම මා සිටියේ ඇගේ අභූත
චෝදනාවන් සිතෙන් ඉවත් කොටගෙන ය. ඔහු නගරයේ ඇති විශාලත ම හෝටලයේ කැසිනෝ කළමනාකරු
බවත් මගේ හාම්පුතුගේ හෝටලයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම සඳහා ඔහු උපදෙස් ලබා දෙන
බවත් ඇය සිය මව සමඟ පවසනු මට ඇසුණි. රාත්‍රී කෑම වේල ගන්නා අවස්ථාවේ දී ඇගේ මව
නිහඬ ව ම සිටි අතර නානි මෙම්සහිබ් හා එම පුරුෂයා කරදරකාරී කුලුපග බවකින් යුතු ව මහ
හඬින් සිනහසුණහ. ඇය ඔහුව මගේ හාම්පුතුට හඳුන්වා දුන්නේවත් නැත. එම පුරුෂයා පිට ව
ගිය පසු ඇය සහ ඇගේ මව විසිත්ත කාමරයේ වැසුණු දොර පිටුපස සිට වාද කරන්නට වූහ. ඔවුන්
උස් හඬින් කෑ ගැසූ බැවින් මා හට සියල්ල ඇසුණු අතර මම මගේ හාම්පුතුගේ කාමරයේ දොර
වසා දැමුවෙමි. ඒ පිරිමියා සමඟ තමන්ට ඇති සම්බන්ධය කුමක් දැ’ යි දැන ගැනීමට අවශ්‍ය
වූ සිය මවට නානි මෙම්සහිබ් ප්‍රතිප්‍රහාර එල්ල කළේ මෙලොව කිසිවෙකුට පිළිතුරු දීමට
තමාට අවශ්‍යතාවක් නොමැති බවත් තමා එසේ නො කරන්නේ නම් සිය මවට පාරක් පාරක් ගානේ
හිඟා කෑමට සිදු වනු ඇති බවත් පවසමිනි. මගේ හාම්පුතු සිය කාමරය තුළ නින්දේ පසු
වූවත් සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳ අදහසක් ඔහු සතු ව වන්නට ඇති බව මම විශ්වාස
කළෙමි.
ඊළඟ මාස කිහිපය තුළ දී නානි මෙම්සහිබ් සෑම වර්ගයක ම
පිරිමින් නිවසට රැගෙන ආවා ය. ඔවුහු ඇයට වඩා බොහෝ සෙයින් වැඩිමහල් වූත් මගේ
හාම්පුතුගේ වයසේ පමණ පසු වූත් අය වූහ. ඒ අතර වචනයකට දෙකකට වඩා කතා නො කළ කෙට්ටු
මිනිසෙකු වූ සංචාරක ඒජන්සියක ප්‍රධාන ගණකාධිකාරිකාරිවරයෙක් ද වූවේ ය. ඊළඟ පිරිමියා
නානි මෙම්සහිබ් සමඟ ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ, ශරීරය ගඳ ගසන සුදු ජාතික
විදේශිකයෙකු වූ කුයිරි[5]
මාධ්‍යවේදියෙකු විය. විදුලි පංකා නිෂ්පාදනායතනයක් හිමි ව්‍යාපාරිකයෙකු ද විය. තවත්
අය සිටිමුත් මට ඔවුන් සියල්ලන් පිළිබඳ මතක නැත.
මගේ මතකයේ හොඳින් ම රැඳී පවතින්නේ කුයිරි මාධ්‍යවේදියා
භෝජන සංග්‍රහයක් සඳහා පැමිණි රාත්‍රියේ දී නානි මෙම්සහිබ් සිය මව සමඟ ඇති කරගත්
විශාල කෝලහාලය යි. ඔහු නිවසින් එළියට බසිද්දී පැවසූ යම් දෙයකට සිනාසෙමින් දොර වැසූ
නානි මෙම්සහිබ්ගේ අතින් ඇද ගෙන වහා ම විසිත්ත කාමරයට ගිය ඇගේ මව හා ඇය නැවතත් එහි
දොර වසා වාද කරන්නට වූහ. මෙවර, ඔවුන් අතට හසු වන දෙයින් එකිනෙකා වෙත පහර දෙන හඬ මට
ඇසුණි. ඇගේ මව ඇය වෙසඟනකැ’ යි පැවසූ අතර තමාව ඒ තත්වයට පත් කළේ සිය මව බව පවසමින්
ඇය ප්‍රතිප්‍රහාර එල්ල කළා ය.
“මොකද වෙලා තියෙන්නෙ?” මගේ හාම්පුතු සිය දුර්වල හඬින් කෑ
ගසා විමසුවේ ය.
ඔවුන් දොර විවර කර පිටතට පැමිණෙන විට නානි මෙම්සහිබ්ගේ
මව හඬා වැටෙමින් සිටියා ය. ඇය පසු දා උදෑසන සිය ඇඳුම් බෑගය ද රැගෙන කුලී රියකින්
පිටත් ව ගියා ය. නානි මෙම්සහිබ් ඇයට සමු දීමටවත් පැමිණියේ නැත.
නානි මෙම්සහිබ් දින කිහිපයක් මගේ හාම්පුතුට සාත්තු
කරමින් නිවසේ රැඳී සිටියා ය. මගේ සිතට සුබවාදී බලාපොරොත්තු එක් කරමින් ඇය උද‌්‍යෝගයෙන්
ඔහුව රැක බලා ගත්තා ය. ඇය කොහෙත් ම එබඳු නරක ගැහැනියක් නො වන්නට ඇති බවත් සිය මව
සමඟ ඇති වූ වාදය විසින් ඇයට සිය වැරදි අවබෝධ කර දෙනු ලැබ ඇති බවත් මම සිතුවෙමි.
එහෙත් ඉක්මනින් ම ඇය අවිවේකී වන්නට පටන් ගත් අතර ප්‍රමාද වන තුරු නිවසින් පිට වී
සිටීමේ චර්යාවට නැවතත් අවතීර්ණ වූවා ය. ඇය මත්පැන් බීමට ද පටන් ගත්තා ය. දෙපා වාරු
නැති ව රාත්‍රියේ නිවසට පැමිණි ඇය දුටු මම විස්මයට පත් වීමි. ඇය හොඳින් දැ’ යි මා
විමසූ විට, “ඔව් ඔව් රාමේ, මට කිසි අවුලක් නෑ. මං මොනවට අවුල් වෙන්න ද?” යි
පවසමින් පා පැටලෙමින් පඩි පෙළ නැග්ගා ය.
මේ දිනවල නිරන්තර වේදනාවෙන් පසු වන මගේ හාම්පුතුට ඉතිරි
වී තිබෙන්නේ සුදුමැලි පිට පොත්තත් කැහැටු ඇට සැකිල්ලත් පමණි. ඇඳෙන් බිමට බැසීමත්
ඔහුට ඉතා අපහසු වූවක් වන අතර පසෙකින් ඇති මේසය මත සෞඛ්‍ය සම්පන්න මිනිසෙකුව
අසනීපකාරයෙකු කිරීමට අවශ්‍ය තරම් පෙති වර්ග, කරල් වර්ග හා සිරප් වර්ග තබා ඇත. ශාරීරික
අවශ්‍යතාවක් ඇති වූ විට ඔහු මට කතා කරන අතර මම බේසමක් රැගෙනවිත් ඔහුට දී කෘත්‍යය
අවසාන වූ විට එය නාන කාමරයට ගෙන ගොස් හිස් කරමි. දුර්ගන්ධය ඉතා ප්‍රබල වුවත් වේදනාවෙන්
අඳුරු වූ දෙනෙතින් යුතු ඔහුගේ මුහුණ දකිත් ම මම එය නො තකා හරිමි. ඔහු කලෙක උතුම්
මිනිසෙකු වූ අතර මා සිතනා පරිදි ඔහු තවමත් ඒ උතුම් මිනිසා ම ය. ඔහු එකල පැවසූ
පරිදි ම ශරීරය යනු ආත්මය රැගෙන යන රථයක් පමණක් වන අතර ආත්මයට භෞතික ස්වරූපයක්
නොමැත.
මගේ හාම්පුතුගෙන් හෝ නානි මෙම්සහිබ්ගෙන් ඇමතුමක් ලැබෙන
තුරු මුළුතැන්ගෙය තුළ සිට ගෙන සිටින මේ මොහොතේ මගේ සිතට පැමිණෙන්නේ ම ඇය පෙර දා
රාත්‍රියේ දි මට කෑ ගැසූ අයුරු පමණක් ම වන අතර ඒ හේතුවෙන් ඇති වූ දැඩි කෝපයත්
ලැජ්ජාවත් විසින් මා වෙලා ගනු ලැබ ඇත.
හෝටලයේ සිට ප්‍රමාද වී පැමිණි ඇය වෙතින් මධ්‍යසාර සුවඳ
හමමින් තිබුණි. මා ඇයට රාත්‍රී ආහාරය පිළිගැන්වීමට සූදානම් වන විට ඇය බීමතින් අත
වනමින්, “කෑම එපා රාමේ, කෑම එපා,” යි පැවසුවා ය. මගේ හාම්පුතුගේ කාමරයේ දොර
උළුවස්සට නළල තබා ගෙන සිටි ඇය ටික වේලාවකින් උඩු මහලේ වූ ඇගේ කාමරයට වැනි වැනී
ගියා ය.
පිඟන් අස් කර විදුලි පහන් නිවා දැමූ මම රාත්‍රියේ නැගෙන
ශබ්දවලට සවන් දෙමින් අඳුරේ සිට ගෙන සිටියෙමි. ඉන්පසු, ඇගේ කාමරයේ විදුලි පහන් නිවා
ජනේල වසා ඇත්දැ’ යි බැලීම සඳහා උඩු මහලට පිය නැගුවෙමි. බිම බලා ගෙන කොරිඩෝරය දිගේ
මා ඉදිරියට ඇදෙන විට මුළු නිවස ම දැඩි නිහැඬියාවක ගිලී තිබුණු අතර ශබ්දයකට කියා
තිබුණේ ඈතින් ඇසුණු බල්ලන්ගේ බිරුම් නාදය පමණි. ඇගේ දොර මදක් ඇරී තිබුණු අතර
එතුළින් විදුලි එළිය කොරිඩෝවට කාන්දු විය. සෙමෙන් දොර තල්ලු කළ මම ඇතුළට පිය
නැගුවෙමි. සන්ධ්‍යාවේ ඇඳි රතු මල් විසිරුණු කළු සාරිය පිටින් ම ඇය යහන මත වැතිර
සිටියා ය. ඈ ගැඹුරින් හුස්ම ගත් අතර ඇෙග් නාභිය හා ළමැදෙහි උස් පැහැත් වීම විවර
කරමින් සාරියේ කෙළවර පහළට ලිස්සා ගොස් තිබුණි. නින්දේ දී පවා ගැඹුරු රැල්ල ඇගේ
නළලත හරහා ඇඳී තිබූ අතර ඇගේ වම් ඇහි පියන්පත සැලෙමින් තිබුණි. මම ඇය දෙස ටික
වේලාවක් බලා සිටියෙමි. ඉන්පසු ජනෙල් වසා ඇගේ යහන කෙළවර නවා තිබූ පොරෝනය අතට
ගත්තෙමි. මගේ උගුර හා පපුව අතර සිර ව තිබූ යමක් හේතුවෙන් ගැහෙන්නට වූ දෙපාවලින්
සිට ගෙන මම ඇයව පොරෝනයෙන් ආවරණය කිරීමට වූවෙමි. ඇගේ දෙපියයුරු පොරෝනයෙන් ආවරණය
වෙද්දී ම හදිසියේ දෙනෙත් විවර කළ ඇය, “රාමේ,” යි පැවුසුවා ය. ඇගේ දෙනෙත් මගේ දෑත
වෙත යොමු කර, “තෝ නාකි අවලමා!” යි මොර දුන්නා ය. වචන ගිල ගත් මම වහා ම කාමරයෙන්
පිට වූයෙමි.
ඒ ආගන්තුක හැඟීමෙන් මා වෙලී ගියේ ඇයි? මහලු වයසේ පසු වන
මගේ දෙපා ඇගේ නාභිය දැක සැලෙන්නට වූයේ ඇයි? ඊයේ රාත්‍රියේ සිට ‘ඔම්’ යැ යි මතුරමින්
මගේ කැලඹුණු සිතුවිලි සංසුන් කර ගැනීමට මා උත්සාහ කරමින් සිටිනමුත් මගේ
සිතුවිලිවලට ද තමන්ට ම කියා ජීවිතයක් ඇතියෙන් ඒවා මට කීකරු වීම ප්‍රතික්ෂේප කරයි.
මගේ හාම්පුතු බොහෝවිට තව මසකට වඩා ජීවත් නො වනු ඇත. ඉන්පසු
නානි මෙම්සහිබ් කුමක් කරනු ඇත් ද? ඇය සුදු දෝතියකින් සැරසී මුහුණේ ගැල්වූ පුයර
ඉවත් කර මෙලොව හැර ගිය සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් පති භක්තිය පුද කරනු ඇත් ද?
එසේ සිදු වීමට නම් ඉඩක් නැත. මට කුමක් වේවි ද? ඇය දිගට ම මගේ සේවය ලබා ගනීවි ද?
නැතහොත් ඇය මට යාමට අවසර දේවි ද? එතරම් දුර සිතීම මට වේදනා ගෙන දෙයි. මා මගේ
සිතුවිලි වර්තමානයේ තබා ගත යුතු ය: රත් වූ තෙලෙහි බැදෙන ගෝවා මල්, අපේ අසල්වැසි නිවසේ
වෙසෙන සූදුකාර සැමියාගේ හා කෝපාවිෂ්ට බිරිඳගේ ගාලගෝට්ටි, හොල්මන් අවතාර පිළිබඳ ව
කොඳුරමින් අඳුරේ මිදුලට වී සෙල්ලම් කරන අසල්වැසි දරුවා සහ වසර ගණනාවක් තිස්සේ අහර
පිසීමෙන් ඉඳුල් සේදීමෙන් නහර ඉලිප්පී වියපත් ව වෙහෙසට පත් වූ මගේ යුග දෑත වෙත
පමණක් සිත එක්තැන් කළ යුතු ය.
[1] නේපාල
ජාතිකයන් තමන්ට වඩා උසස් ගෞරවණීය පුද්ගලයෙකු සඳහා යොදා ගන්නා ආමන්ත්‍රණ පදයකි.
[2] නේපාලයේ
ස්වදේශික ජන කොට්ඨාසයකි.
[3] නේපාලි
භාෂාවෙන් වැඩිමහල් සහෝදරයා යන අර්ථය දනවයි.
[4] දෙසැම්බර්
හා ජනවාරි අතර කාලයේ දී වසරේ ශීතල ම වකවානුව නේපාලයට උදා වෙයි. මෙම කාලයේ දී
ගැඹුරු ජලයේ වෙසෙන මත්ස්‍යයින්ට ද දැඩි ශීතල පීඩා ගෙන දෙන බැවින් ඉන් ආරක්ෂා වීම
සඳහා උන් දින පනහක් පුරාවට ජල පත්ලේ ඇති පර්වත යට සැඟවී සිටින බව ජනයා අතර පවතින
මතයකි. ඒ ඇසුරින් සෑදි ඇති ‘මීන් පචස්’ යන නේපාලි යෙදුමෙහි මීන් යනු නේපාලි
භාෂාවෙන් ‘මත්ස්‍යයන්’ වන අතර නේපාලි භාෂාවෙන් ‘පචස්’ ලෙස හැඳින්වෙන්නේ ‘පනහ’ ය.
[5] සුදු
හමක ඇති යුරෝපීයයන්ව හැඳින්වීම සඳහා නේපාල ජාතිකයන් භාවිත කරන කට වහරකි.
Comments
Post a Comment