එක්වර
ම සරුසාර
මොහොතක
හෙලුවෙමි මිහිකත මතට බිජුවක්.
එයින්
ඉහළට නැගුණි කුසුමක්,
දනන් කීවෝ, වල් පැළෑටියක්.
පිය
නැගූවෝ මා පසු කර
මගේ උයනේ කෙළවරට,
මිමිණුවෝ
මැසිවිලි නො තුටු ව
දෙස් තැබූවෝ මටත් මලටත්.
එවිට
එය තව නැගුණි සවි ලැබ
හිස මතෙහි විය දිදුල කිරුළක්,
පවුර
මත්තෙන් නැගුණු සොර කැළ
ගෙන ගියෝ රෑ මගේ බිජුවට.
වැපිරුවෝ
බිජු මල් තවානක
සල්පිලක් සල්පිලක් පාසා,
සියලු
ජනයා කෑ ගසන තුරු,
“ආශ්චර්යවත් මලකි මෙය!”
කියවන්න මගේ දිවි සැරිය
හැල්මේ දුවන්නෙකු කියවනු ඇත.
හැම මිදුලක ම මල් පිපී ඇත
බීජ ලැබුණෙන් හැම දෙනාට ම.
ඇතැම් මල් නම් අලංකාර යි,
ඇතැම් මල් ඇත්තෙන් ම දුබල යි.
ඉතින් දැන් නැවතත් මිනිස් කැළ
කියයි මේ නම් වල් පැළැටියක්.
Comments
Post a Comment