Skip to main content

Goodbye Party for Miss Pushpa T.S. - Nissim Ezekeil


 

මිතුරනි,

අ‌පගේ ළබැඳි සොයුරිය

විදෙස්ගත වනවා

දින දෙක තුනකින්,

ඉතින්

අපි අද මේ රැස් වෙලා ඉන්නෙ

ඇයට සුබ පැතීමට යි.

 

ඔබ සියලු දෙනා ම දන්නවා, මගේ මිතුරනි,

පුෂ්පා මිස් කියන්නෙ හරි ම සුන්දර කාන්තාවක්.

මම මේ කියන්නෙ බාහිර රූපෙ ගැන

විතරක් නෙවෙයි

ඇගේ ඇතුළාන්තයත් හරි සුන්දර යි.

පුෂ්පා මිස් හිනාවුණ ගමන් ම යි

හේතුවක් නැතිවත් ඇය හිනා වෙනවා

මොකද ඇය දන්නවා හැමදේ ම රස විඳින්න.

 

පුෂ්පා මිස්ගෙ පරම්පරාව

බොහොම ඉහළ පැලැන්තියක්.

ඇගේ පියා කීර්තිමත් නීතීඥයෙක්

බල්සාර්වල හරි සුරාත්වල හරි වෙන්නෝනි,

මට දැන් හරියට ම මතක නෑ කොහෙද කියලා.

 

සුරාත්වල? ආ, ඔව් ඔව්,

මං එක ම එක සැරයක් සුරාත් ගිහින් තියෙනවා

අපේ මාමණ්ඩිගෙ පරණ හිතවතෙක්ගෙ ගෙදරකට

එතුමගෙ නෝනා හරි ම රසට උයනවා...

ගොඩක් කාලෙකට ඉස්සර ඒ

 

පුෂ්පා මිස් ගැන කතා කළොත්

එතුමිය හරි ජනප්‍රිය යි

ගෑණු පිරිමි කා අතරත්.

 

මම ඇයට වැඩක් පවරනෝ...නි වෙලාවක

ඇය කියන්නෙ,

‘මං විනාඩියෙන් කරල දෙන්නම් සර්.’

එතනින් ම පේනවා

ඇගේ යහපත් ගතිගුණ. මම කොයිවෙලෙත්

අගය කළේ යහපත් ගතිගුණ.

 

පුෂ්පා මිස්ගෙ ශබ්දකෝෂෙ නෑ බෑ නෑ.

මම වෙන්න පුළුවන්

වෙන කවුරුහරි වෙන්න පුළුවන්

අහනෝ...නි දේකට

එතුමිය කිව්වෙ, ‘හා, හරි, මට පුළුවන්,’

එතුමිය අද අපෙන් සමුගන්නවා ඉතින්

ඇගේ අනාගත සුබ සිද්ධියට

අපි ඇයට කියනවා සුබ ගමන්

 

දැන් මා ආරධනා කර සිටිනවා

අනෙක් අයටත් අදහස් දක්වන ලෙස

ඊට පස්සෙ පුෂ්පා මිස්

සාරාංශය ඉදිරිපත් කරයි.

Comments

Popular posts from this blog

Love in Translation - Madeline Kheilminister

 ප්‍රේමය දිව නුහුරු බසින්  විදේශිකයෙකුට පෙම් බැඳීම අතිශය සුන්දර අත්දැකීමකි. ඔවුනගේ සිතැඟි වටහාගැනීමත් ඔවුන් අයත්වන සංස්කෘතිය හඳුනාගැනීමත් එක හා සමාන ව සිත් ඇදගන්නා ක්‍රියාවන් වේ. අපට නුහුරු ඔවුනගේ වාග් සම්ප්‍රදායන්, අපූරු සිරිත් විරිත් සහ සිත් පුබුදු කරවාලන අදහස් උදහස් ඉතා ආකර්ෂණීය වේ. හදවතට වඩ වඩාත් සමීප වීමේත්, සිතැඟි වටහා ගැනීමේත් පරමාර්ථයෙන් ඔවුනගේ භාෂාව උගෙනීමේ නො තිත් ආශාවකින් ඔබ පෙළෙනු නො අනුමාන ය. පෙම් සුව විඳිද්දී සිය ආදරණීයයාගේ මුවින් ගිලිහී ඔබේ සිත තුළට කා වැදුණු, එහෙත් අරුත් වටහා ගත නොහැකි ඇතැම් වදන් නිරතුරුව මුමුණනන්ට ඔබ පෙළඹෙන්නේ නිරායාසයෙනි. මන්ද, එවදන් ඔබේ සවනත වැකුණු විට හද තුළ ඉපිලුණු උද්වේගකර හැඟීම් ඒවා තුළ නිදන් ව ඇති හෙයිනි. ඔවුනට ඔබේ  ස්වරණය ආදරණීය ය. ඔබට ද, ඔබේ මවුබසින් සිය ආදරණීයයාගේ හඬ ඇසෙන විට එය අතිශයින් මධුර මනෝහර වේ.  ප්‍රේමය විදෙස් බසකින් මා සොයා පැමිණියේ යමෙක් සිය ආත්ම-ගවේෂණය සහ ආත්ම-සංවර්ධනය කෙරහි සිය සිත අතිශයින් ම ඒකාග්‍ර කරනා අවධියක යි. ඒ මා උපාධි අපේක්ෂිකාවක ලෙස විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි වසර යි. ඉංග්‍රීසි භාෂා සහායකවරියක ලෙස මා ...

සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත් ද? - රුවන් බන්දුජීව

 

Stench of Kerosene - Amrita Pritam

  වෙළඹකගේ හේෂාරාවය පිටතින් ඇසුණි. ගුලේරි සිය නිවස ඉදිරිපිට සිට හඬ ගානා වෙළඹ හඳුනා ගත්තා ය. වෙළඹ පැමිණ සිටියේ ඇගේ මාපියන්ගේ ගමේ සිට යි. වෙළඹ වෙත දිව ගිය ඈ උගේ ගෙලෙන් එපිටට හිස යොමු කළේ ඒ වෙළඹ සිය පියාණන්ගේ නිවසට යාම පිණිස ඇයට දොරටු විවර කළ කලෙක පරිද්දෙනි.   ගුලේරිගේ දෙමව්පියන් වාසය කළේ චම්බා නම් ගම්මානයේ ය. කඳුකර භූමියක පිහිටි ඇගේ සැමියාගේ නිවසේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු නගරය කරා යන මාවත වක ගැසි ගැසී පහළ දළ බෑවුම වෙත විහිදෙයි. මේ මංසන්ධියට පැමිණෙන අයෙකුට සිය දෙපතුළට පහළින් ඉතා ගැඹුරු ආගාධයක වැතිරී සිටින චම්බාව දැක ගත හැකි ය. සිය නිවස මතක් වී සාංකාවක් ඇති වෙන ඕනෑ ම මොහොතක ඇය සිය සැමියා වූ මනක් සමඟ මෙම ස්ථානයට පැමිණෙයි. හිරු රශ්මියෙන් දිදුලන චම්බාවේ නිවාස පේළි දකිනා ඇය ආපසු පැමිණෙන්නේ ආඩම්බරයෙන් දිදුලන හදකින් යුතු ව යි.   වසරකට වතාවක් එළඹෙන අස්වනු නෙළනා සමයේ දී සිය දෙමාපියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට ගුලේරිට අවසර ලැබෙයි. ඔවුහු ඈ චම්බා වෙත කැඳවා ගෙන ඒම සඳහා ලකර්මණ්ඩි වෙත සේවකයෙකු එවති. විවාහයෙන් පසු චම්බාවෙන් දුර බැහැර පදිංචියට ගොස් සිටින ඇගේ මිතුරියන් දෙදෙනෙක් ද මෙසම...