වෙළඹකගේ හේෂාරාවය පිටතින් ඇසුණි. ගුලේරි සිය නිවස ඉදිරිපිට සිට හඬ ගානා වෙළඹ හඳුනා ගත්තා ය. වෙළඹ පැමිණ සිටියේ ඇගේ මාපියන්ගේ ගමේ සිට යි. වෙළඹ වෙත දිව ගිය ඈ උගේ ගෙලෙන් එපිටට හිස යොමු කළේ ඒ වෙළඹ සිය පියාණන්ගේ නිවසට යාම පිණිස ඇයට දොරටු විවර කළ කලෙක පරිද්දෙනි. ගුලේරිගේ දෙමව්පියන් වාසය කළේ චම්බා නම් ගම්මානයේ ය. කඳුකර භූමියක පිහිටි ඇගේ සැමියාගේ නිවසේ සිට සැතපුම් කිහිපයක් ගමන් කළ පසු නගරය කරා යන මාවත වක ගැසි ගැසී පහළ දළ බෑවුම වෙත විහිදෙයි. මේ මංසන්ධියට පැමිණෙන අයෙකුට සිය දෙපතුළට පහළින් ඉතා ගැඹුරු ආගාධයක වැතිරී සිටින චම්බාව දැක ගත හැකි ය. සිය නිවස මතක් වී සාංකාවක් ඇති වෙන ඕනෑ ම මොහොතක ඇය සිය සැමියා වූ මනක් සමඟ මෙම ස්ථානයට පැමිණෙයි. හිරු රශ්මියෙන් දිදුලන චම්බාවේ නිවාස පේළි දකිනා ඇය ආපසු පැමිණෙන්නේ ආඩම්බරයෙන් දිදුලන හදකින් යුතු ව යි. වසරකට වතාවක් එළඹෙන අස්වනු නෙළනා සමයේ දී සිය දෙමාපියන් සමඟ දින කිහිපයක් ගත කිරීමට ගුලේරිට අවසර ලැබෙයි. ඔවුහු ඈ චම්බා වෙත කැඳවා ගෙන ඒම සඳහා ලකර්මණ්ඩි වෙත සේවකයෙකු එවති. විවාහයෙන් පසු චම්බාවෙන් දුර බැහැර පදිංචියට ගොස් සිටින ඇගේ මිතුරියන් දෙදෙනෙක් ද මෙසම...